මා ගාලු මහින්දයෙන් අස් වී ආනන්දයට ආ දිනය මට කිසිවිටක අමතක නොවේ. ආනන්ද බෝඩිමට දෙමාපියන් සමඟ එදා පැමිණි සියලුම ළමයි පඩිපෙළ මතදී ආදරයෙන් පිළිගත්තේ එවකට බෝඩිම් මාස්ටර් වු කර්නල් රාජපක්ෂයන්ය. හැම මවුපියකු සමඟම ඉතා හොඳින් කතා කරමින් රාජපක්ෂයන් ඔවුන් අස්වසාලීය.

අම්මා තාත්තා මගේ ඔළුව සිඹ ආපහු මෝටර් රථයට නැඟී ගියේ කඳුළු පිරි මුහුණු වලිනි. මගේ අල්ලපු ඇඳේ සිටි යාළුවාට පමණක් එවැනි තනිකමක් නොතිබුණේ බෝඩිමේ උඩ සීනියර් ඩෝමැට්‍රියක සිටි ඔහුගේ ලොකු අයියා තම මල්ලීට අලුත් ජීවිතයට හැඩ ගැසීමට උදවු කරමින් සිටි නිසාය. ‘‘මල්ලී ඔයාගේ දත් බුරුසුව, සබන් කෑල්ල මෙතනින් තියන්න. උදේට ඕන වෙනවානේ..” මම මේ ලොකු අයියා මල්ලීට දෙන උපදෙස් වලට හොරෙන් ඇහුම් කන් දුන්නෙමි.

සීනියර් රූම් එකේ අයියා මල්ලීට කියන දේවලින් ආනන්ද බෝඩිමේ නීති රීති හා දෛනික චරියාව ගැන මම බොහොම දේවල් ඉගෙන ගතිමි. සීනියර් අයියා උඩ තට්ටුවේ පඩිපෙළින් නොපෙනී ගිය පසු මම පුංචි මල්ලී ළඟට කිට්ටු වූයේ ආනන්දයේ පළමුවෙනි මිත්‍රයා බිහි කර ගැනීමේ අභිලාෂයෙනි.

‘‘හලෝ මම දෙව්සිරි. මම මහින්දයෙන් මෙහෙ ආවේ. ඔයත් ගාල්ලේද”

‘‘නැහැ මම බෙලිඅත්තෙන්. මගේ නම රෝහණ” ඔහු මටද හිනාවෙමින් උත්තර දුන්නේය.

‘‘දෙව්සිරි ඔයා යූ. ඇන්. පී. ද ශ්‍රී ලංකාද.” මගේ ප්‍රථම ආනන්ද මිත්‍රයා ඊළඟට ඇසු ප්‍රශ්නයෙන් මම උඩ විසි වී ගියෙමි.”

‘‘අපේ මුළු පරම්පරාවම යූ. ඇන්. පී. බලකණු නේ. ඒ විතරක් නෙවි ඊළඟ මැතිවරණයේදී කඹුරුපිටියට ඉල්ලන්න කියලා ඩඩ්ලි සේනානායක අපේ තාත්තට ලියුමකුත් එවලා තියනවා” මම ආඩම්බරයෙන් රෝහණට කීවේ මා තුළ තිබූ මන්ත්‍රී සිහිනය යටපත් කර ගැනීමට වෙර දරමිනි.

‘ආ ඕක මොකක්ද. අපේ තාත්තා නම් දැනටම මන්ත්‍රීවරයෙක්” කියමින් රෝහණ මගේ හුළං බින්දුවටම බැස්සුවේය.”

අපි අලුත් ළමයි සියලු දෙනාටම එකිනෙකා හඳුනාගෙන යාළුවන් වීමට ගතවුයේ විනාඩි කිහිපයකි. මගේ අලුත් මිතුරාගේ පූර්ණ නම බැසිල් රෝහණ රාජපක්ෂ බවත් ඔහුගේ පියා බෙලිඅත්තේ මන්ත්‍රීතුමා බවත් දැන් මොහොතකට පෙර උඩ තට්ටුවට ගිය අයියා ගෝඨාභය බවත් අපි සියලුදෙනාම දැනගත්තේ ඉන්පසුවය.

බැසිල්-ගෝඨාභය අයියා මලෝ ද අතිශයින් නිරහංකාර ළමුන් වූහ.

බෝඩිමේ සිටින තම පුතුන් බැලීමට එන සෑම දෙමවුපියකුම පුතු වෙනුවෙන් කේක්, දොදොල්, මස්කට්, මාස්මෙලෝස් වැනි රස ආහාර ගෙන ඒම පුරුද්දක් විය. ඒවාට අපි කීවේ “දොවොල්” කියාය.

බෙලිඅත්තේ මන්ත්‍රීතුමා තම පුතුන් බැලීමට සැමවිටම පැමිණියේ පුහුල් දෝසි හෝ ටොෆි පාර්සලයක් දෙකක් අරගෙනය. පැය බාගයක්ම තම පුතුන් සමඟ සතුටු සාමිචීයේ යෙදෙන මන්ත්‍රීතුමා ආපසු යන්නේ කොයිවෙලාවෙදැයි සිතමින් අපි නොඉවසිල්ලෙන් ඇගිලි ගණන් කරන්නෙමු. මන්ත්‍රීතුමා කාර් එකට නැඟී වංගුව පහු කරන්නත් පෙර කාමර දෙකේ කොල්ලෝ දක්ෂ රගර් ක්‍රීඩකයන් මෙන් බැසිල් හා ගෝඨාභය බිම පෙරළාගෙන දෝසි පාර්සල දෙකට වැඩක් දෙති. අන්තිමේදී ගෝඨා හා බැසිල්ට ඉතුරු වන්නේ දෝසි කුඩු පමණි.

සෑම කුඩා ළමයෙකුගේම ආසාව අයිස්ක්‍රීම් කෑමය. බෝඩිමේ අපේ ප්‍රියතම ආහාරය වූයේ එලිෆන්ට් හවුස් අයිස් චොක්ය. තාත්තලා අපිව බලන්නට ආ විට ලබා දෙන රුපියල් දෙක තුන පොකට් මනි දවස් දෙක තුනෙන්ම අයිස්ක්‍රීම් වලට වියදම් කරන අපි ඉන්පසු කල්පනා කරන්නේ ඊළඟ අයිස් චොක් එක කන්නට ශත 15ක් හොයාගන්නේ කෙසේද කියායි.

බැසිල්ට අයිස් ක්‍රීම් කන්නට දොළදුකක් හැදුණ අතේ සතේ නැති සමහර දිනවල ඔහු මම ඇදගෙන ගෝඨාභය හමුවෙන්නට යෑම සිරිතක් කරගෙන තිබුණි. ඈත සිටම අපිව දකින ගෝඨා අයියා “ආ මොකද දෙන්නට අදත් බඩගිනි වෙලාද? ආ මෙන්න අයිස්ක්‍රීම් කන්න ශත 50ක්” කියමින් අපට කාසියක් දෙයි. ගෝඨාභයට පින් දෙමින් අපි ආනන්ද වැට එහා පැත්තේ තිබුණ අකුරැස්සෙ මාමාගේ පුංචි කඩයෙන් අයිස් චොක්ස් දෙක දෙක කන්නෙමු.

කාමරේ අපි වැඩිදෙනෙකු යූ. ඇන්. පී. කාරයන් වුවත් බැසිල් සමඟ දේශපාලනය ගැන වාද කරන්නට අප කිසිවකු සමත් වූයේ නැත. නමුත් ගෝඨාභය ඊට සහමුලින්ම වෙනස් චරිතයක් විය.

ඒ කාලේ අපේ සුප්‍රසිද්ධ සිංහල ගුරුතුමා වූ බර්ටි විජේසිංහයන් මෙසේ කියයි. “ගෝඨාභයයි බැසිලුයි බෝඩිමේ ඉන්න කාලේ එකිනෙකාට වෙනස්. බැසිල් මහා සටන්කාමියා. කොල්ලෝ එක්ක රණ්ඩු අල්ලන්න කියාපු හාදයා. නමුත් ගෝඨාභය බෝඩිමේ හැදුණේ බෝ පැළයක් වගේ. කිසිම කාලෙක බෝඩිම ඇතුළේ නම් වැරදි වැඩකට අහු වුණේ නැහැ. එයා නිතරම හිනා වෙවී හිටි යහපත් ළමයෙක් ”

දැන් ඕස්ට්‍රේලියාවේ SPUR සිංහල සංවිධානයේ සභාපති හා ආනන්ද බෝඩිමේ එවකට හිටි ගුරුවරයෙකු වන රංජිත් සොයිසා ද එය අනුමත කරයි. “ගෝඨාභය හතරවන ශ්‍රේණියේ ඉන්න කොට ඉංග්‍රීසි ඉගැන්නුවේ මමයි. ඔහු උගන්වන දෙයට හොඳින් ඇහුම්කන් දුන්නා. වෙලාවට ගෙදර වැඩ කරපු ඉතාම නිශ්ශබ්ද චරිතයක්. නමුත් අද මට විතරක් නෙවි මුළු ආනන්දයටම ඔහු මහත් ආඩම්බරයක්… ”

මහින්දයේ සිටි මගේ අයියා නිමල්සිරි හේවාවිදාන ද පසු කලක ආනන්දයේ නමවන ශ්‍රේණියට එක් විය. ඔහු ඇතුළු වූයේ ගෝඨා අයියා සිටි ඉන්ටර් බී කාමරයටයි.

අයියලාගෙන් පෑනක් නැතිනම් ඉරේසරයක් ඉල්ලා ගන්නට වැනි වුවමනාවක් වූ විට බැසිල් හා මා ඉන්ටර් බී කාමරය යටට වී “ගෝඨායියේ නිමලයියේ ”කියා කෑ ගැසීමු. නමුත් ඔවුන් බැල්කනියට එන පාටක් නැත. අපි නැවතත් ඔවුන්ගේ නම් කියා කෑ ගසන්නෙමු. එවිට බැල්කනියෙන් ඔළුව දමන මාන්නප්පෙරුම “බැසිල් මල්ලී! ගොඨායියා නාන්න ගිහින්. නිමල් අයියාත් මූණ හෝදනවා වගේ තව පැයකින් එන්න” කියා අපිව ආපසු යවයි. අපිත් “හොඳයි මාන්න අයියේ ” කියමින් ආපසු එන විට ඔහු හිතන්නේ අපි ගුළිය ගිල්ලා කියාය.

නමුත් අපේ අයියලාට වැඩිය අපි ලෝකේ කාපු අය බව මාන්නප්පෙරුම නොදනියි. ගෝඨා අයියා හා නිමල් අයියා මහ රෑ නාන ජාතියේ බඩු නොවේ. ඒ දෙදෙනාම එවෙලේ සිටින්නේ මරදානේ තෝසෙ කඩේ බව අපි දනිමු.

ගෝඨා අයියා බැසිල්ට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් විය. ඔහු ඉතාමත් නිශ්ශබ්දකාරී බොඩිම්කාරයකු විය. ගෝඨා අයියා කිසිවකු සමඟ හයියෙන් කතා කරනවා මා දුටුවේ නැත. නිශ්චල චරිතයක් වූ ඔහුගේ ප්‍රධාන ගති ලක්ෂණය වුයේ හැම විටම සතුටු සිනාමුසු මුහුණින් සිටීමය. එතකදු වුවත් ගෝඨායියා අසාධාරණයට විරුද්ධව සටන් කිරීමට පැකිළුණේ නැත.

දවසක් අපේ ක්‍රිකට් පිටියේ සිදු වූ සිද්ධියක් මට තවම මතකය. ගෝතමී පාරේ පල්ලිය පිටුපස ආනන්ද බෝඩිමේ ක්‍රිකට් පිට්ටනිය තිබුණි. අපි එයට කිව්වේ ගල්ඔය කියාය. (දැන් එහි ඇත්තේ බාස්කට් බෝල් පිටියයි). එහි ක්‍රිකට් පිච් තිබුණේ පහක් පමණී. දිනපතාම මේ පිට්ටනියේ එක ගොඩේ බෝඩිම් කොල්ලෝ ක්‍රිකට් මැච් පහක් ගැහුවා නේදැයි සිතන කොට මට දැන් පුදුම සිතේ.

හවස තේ පානය ඉවර වූ විගසම අපෙන් කවුරු හරි පණ කඩාගෙන “ගල් ඔයට” දුවන්නේ සීනියර් ඩෝමැට්‍රියේ අයියා කෙනෙකුට කලින් ගොස් “මැද පිච්” එක අල්ලා ගැනීමටය.

බෝඩිමේ ඩෝමැට්‍රි හතෙන්ම එක ළමයකු බැගින් මේ මහා ධාවන තරඟයකට සහභාගී විය. නමුත් කනිෂ්ඨ කාමරයක මල්ලියකු මැද පිච් එක අල්ලා ගත් විට පිළිගත් සම්ප්‍රදායට ගරු කරමින් සීනියර් අයියලා කළේ වෙනත් පිච් එකක මැච් ගැසීමය.

මේ කියන දවසේ පිච් එක අල්ලා ගැනීමේ ඩියුටිය පැවරී තිබුණේ මටය. ටී ඉන්ටවල් එකෙන් පසු පණ කඩාගෙන පිට්ටනියට දුව ගිය මම මැද පිච් එකේ බැට් එක තිබ්බේ ජයග්‍රාහක ලීලාවෙනි. නමුත් මා ලුහුබඳිමින් පැමිණි මධ්‍යම සී කාමරයේ හරීන්ද්‍ර පිනිදිය (පසුව උප පොලිස්පති) “ඒයි මල්ලී අද අපේ බිග් මැච් එකක්. ඕක අපිට දෙනවා” කියමින් මා තල්ලු කරමින් මැද පිච් එකේ බලය අල්ලා ගත්තේය.

පොඩි කොල්ලකු වූ මට මේ අසාධාරණය ගැන හඬනවා හැර වෙන කරන්නට දෙයක් තිබුණේ නැත. මේ පිච් ධාවන තරගයේ තුන්වෙනියාට දුවගෙන ආ ගෝඨා අයියා ට මේ කෙරෙන අගතිගාමී වැඩේ හොඳින් පෙනුණේය.

‘‘ඒයි පිනිදිය මල්ලී පල් වැඩ කරන්න එපා ” කියමින් එතනට ආ ගෝඨාභය‘ මේ පුංචි මල්ලි අපිට කලින් නේ මැද පිච් එක අල්ලා ගත්තේ. ඒ හින්දා එයාලට එකේ සෙල්ලම් කරන්න දීලා වෙන පිච් එකකට යන්න.” කියා පිනිදියව පසෙකට තල්ලු කර දැම්මේ තරහිනි. ගෝඨා අයියාට පින් දෙමින් අපි එදා සවස රිසිසේ ක්‍රිකට් ගැහුවෙමු.

ගල්ඔය ක්‍රිකට් පිට්ටනියේ අපි සෙල්ලම් කරන කාලයේ සිදුවු රසවන් කතා ලියන්නට මේ ලිපිය ඉඩ මදිය. එක වර ක්‍රිකට් මැච් හතරක් පහක් ගැසු එම පිට්ටනියේ අපි Field කරේ එක ගොන්නටය. Inter B මැච් එකේ Mid on ස්ථානයේ Field කළ ගෝඨා අයියත් Junior B මැච් එකේ Mid off ස්ථානයේ රැක සිටි මමත් හිටියේ එකම තැනය.

“කොහොමද මල්ලී තාත්තලා එහෙම ළඟදි ඔයා බලන්න ආවේ නැද්දැයි ” ගෝඨා අයියා සුහද බව දැක්වීම සඳහා මාව කතාවට ඇඳා ගනී. මමත් ඔහු සමඟ ගම් පළාතේ තොරතුරු කතා කරන්න පටන් ගතිමි. දැන් අපි දෙදෙනාටම අපේ මැච් දෙක අමතකය. හිටපු ගමන් සිරි සේනාපති හයියෙන් අහසට ගැසු බෝලය ගෝඨා පැත්තට කැරකී එයි. “කැච් එක අල්ල ගනී මචං” Fielders ලා ගෝඨාට කෑගසති. නමුත් මගේ පැත්තට හැරි කතා කරමින් සිටින ගෝඨාට ඒ ඝෝෂාව නොඇසේ. බෝලය ඔහුගේ කන ළඟින් වැදී බිමට වැටේ. ගෝඨාගේ කැප්ටන් නිමල් පියසේනට මාර ජුවල්ය. ඊළඟ හිනායන සිද්ධිය වෙන්නේ ගෝඨාභයගේ ටීම් එක බැට් කරන විටය. ඔවුන්ගේ තුන්වැනියා ප්‍රසාද් පුංචිහේවා 32ක් ගසා අවුට් වෙයි. ඊළඟට බැට් කරන්න ඉන්නේ ගෝඨාභය වුවත් ඔහු පේන්න නැත.

“ගෝඨා ගෝඨා බැටින් වලට වරෙන්” ඔහුගේ සගයෝ කෑ ගසති. ඒත් ගෝඨා දකින්නට නැත. “මේ යෝධයා මොන මඟුලක ගිහිල්ලද?” ටීම් කැප්ටන් නිමල් පියසේන තරහින් කෑගසයි.

බැසිල්, ලලිත් චන්ද්‍රදාස, කරන්නාගොඩ වැනි මගේ සම වයසේ බෝඩිං යහළුවන් ද සරත් වීරසේකර, රාජිත සේනාරත්න හා ෆොන්සේකා වැනි දවස්කෝලයෝ ද (Dayscholars) නිතරම ත්‍රිල් එකට සිසුන් කෝප කළ කොල්ලෝ වූහ.

අපි හය වැන්නේ සිටිය දී පවා ලලිත් හා බැසිල් “හැමදාම ගල් එක්ක පරිප්පුයි ගුල්ලෝ ගහපු පානුයි කන්න බැහැ” කියා බෝඩිමේ කෑම වර්ජනයක යෙදුණ හැටි සුන්දර මතකයන්ය.

නමුත් ඉතා නිශ්ශබ්ද චරිතයක් වූ ගෝඨා අයියා තමන්ගේ පාඩුවේ හිටියා මිස සිසුන් ප්‍රකෝප කිරීමේ වැඩ වල යෙදුණේ නැත. නමුත් පාසැල් වෙලාවේදී ඔහුගේ පන්තියේ කොල්ලන් කළ වීර වැඩක් අපිට ආරංචි වූ දා අපිට සිනහව නවත්ත ගන්නට බැරි විය.

රාජපක්‍ෂ සර් උප විදුහල්පති ධූරය දරන කාලයේ සීනියර් පන්තිවල ළමයින්ට තරමක නිදහසක් දෙන්නට තීරණය කළේය.

පාඩම් නැති Free Period තියෙන අවස්ථාවල Senior පන්තිවල කොල්ලන්ට පෑනක් පොතක් වැනි අවශ්‍ය දෙයක් ගැනීමට පාසැලෙන් පිට යාමට සර් අවසර දුන්නේය. එසේ යන හැම ළමයෙකුම ආරක්‍ෂක කුටියේ ඇති පොතේ තම නම ලියා යා යුතු බවත් කිසිම කෙනෙකු සතියකට තුන් වරකට වඩා පාසැලෙන් එසේ පිටව නොයා යුතු බවත් ඔහු නියෝග කළේය.

හැමවිටම ඉංග්‍රීසියෙන් කතා කරන්න ලියන්නට හුරු වෙන්නැයි රාජපක්‍ෂ සර් දුන්න අවවාද අකුරටම පිළිපදිමින් ඔවුන් මුරකාරයාගේ පොතේ ඉංග්‍රීසියෙන් තම නම හා අත්සන යොදා පාසලෙන් පිටවී ගියේ කිසිම විරෝධයක් නොලබාය.

සිකුරාදා දිනය එළඹුණි. ඉංග්‍රීසි නොදන්නා මුරකරු ද ඉතා යටහත්ව ලොග් පොත රාජපක්‍ෂ සර්ට බාර දුණි. ලොග් පොතේ සටහන් කර තිබූ ගෝඨාභයගේ පන්තියේ ළමුන්ගේ නම් ටික කියවූ රාජපක්‍ෂ සර්ගේ ඇස් උඩ ගියේය. එහි ලියා තිබුණු විස්තර අනුව එම සතියේ දී සර් අයිසැක් නිව්ටන් හා ශේක්ස්පියර්, හතර සැරයක් ද, අයිසන්හවර්, මාර්ටින් ලූතර් කිං හා ජෝන් කෙනඩි තුන් සැරයක් ද වින්සන් චර්චිල්, නැපෝලියන් බොනපාට් හා ජෝර්ජ් වොෂින්ටන් දෙසැරය බැගින් ද ආනන්ද ගේට්ටුවෙන් එළියට ගොස් තිබුණි.) හොඳටම කෝපයට පත් වූ රාජපක්‍ෂ උප විදුහල්පතිතුමා ගෝඨාභයගේ පන්තියේ ළමයින්ට ලබා දී තිබූ ‘නිදහස’ වහාම අවලංගු කළේය.

එකල ගල්ඔය පිට්ටනියේ කොනේ පොල්, කොස්, තැඹිලි, පැපොල් වැනි නොයෙකුත් ගස් වර්ග වලින් පිරුණු පුංචි වනාන්තරයක් තිබුණි.

ගෝඨාභගේ සගයකු වූ ප්‍රසාද් පුංචිහේවා ගෝඨාභයට සිදු වූ සිදුවූ අකරතැබ්බයක් මෙසේ විස්තර කරයි “ Inter C ඩෝමට්‍රියේ ඉන්න කාලේ අපි ගල්ඔය තිබුණ පුංචි අඹ ගහක tree house එකක් නැතිනම් අට්ටාලයක් හැදුවා. ට්‍රී හවුස් එක හදලා ඉවර කරපු දවසේ ගෝඨාභයයි අපි තව දහ දෙනෙක් විතරයි ඒකට නැඟලා සින්දු කියලා විනෝද වෙලා මැච් එකක් ගහන්න බිමට බැස්සා. ‘‘අපි පොඩි විවේකයක් ගන්නවා” කියලා ගෝඨාභය, සමරකෝන් හා සමරතුංග ගහේ ලෑලි උඩ හාන්සි වුණා. අපි මැච් එක සෙල්ලම් කරන්න පටන් ගත්තා විතරයි “දඩ බඩ ජර බරාස් ” ගාලා මහා ලොකු සද්දයක් ගල්ඔය පැත්තෙන් ඇහුණා. මම දැක්කා අඹ අතු ලෑලිත් එක්ක ඡායා දෙකකුත් බිමට කඩන් වැටෙනවා. මැච් පහේම කොල්ලෝ එතෙන්ට දිව්වා. දෙන්නෙක් බිම වැටිලා කෙඳිරි ගානවා. නමුත් ගෝඨාභය එතන නැහැ. ඒ පාර අතු අස්සෙන් අපිට ඇහෙනවා කෑ ගහන සද්දයක්. ගෝඨාභය අත් දෙකෙන් අතු දෙකක් අල්ලගෙන නැගිටිනවා. ඉතින් මමයි මාන්නප්පෙරුමයි ගන්හේවා කියන යාළුවෙකුයි ගෝඨාභයව හෙමින් හෙමින් බිමට ගත්තා. ලේ පෙරා ගෙන බිම වැටුණු දෙන්නෙක් ඉස්පිරිතාලෙ ගෙනියන්න සිද්ධ වුණා ”

ආනන්දයෙන් ඉවත් වී බොහෝ කලකට පසු ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් වැනි ඉහළම පදවිය දැරුවත් ගෝඨාභය පරණ ගුරුවරු හා යහළුවන් අමතක කළේ නැත. ප්‍රාථමික අංශයේ තමනට ඉගැන්වූ සෝමා සූරියආරච්චි ගුරුතුමියව හමුවුයේ වරක් දෙවරක් නොවේ.

ආර්ථික වශයෙන් අසරණ බවට දැන් පත්වී ඇති පරණ ගුරුවරුන්ට එතුමා අප්‍රසිද්ධියේ තම මුදලින් උදවු කරයි. මට අවසන් වරට ගෝඨාභය මුණ ගැසුණේ ලලිත්- ප්‍රීති රාජපක්‍ෂ යුවළගේ දියණිය ගුවන් නියමු මාදිනී රාජක්‍ෂගේ විවාහ උත්සවයේදීය.

ලෝකයේ සිටි දරුණුතම ත්‍රස්තවාදී කොටි සංවිධානය පරදවා ශ්‍රී ලංකාව එක් සේසත් කොට මුළු රටේම ගරු බුහුමන් වලට පාත්‍රවෙමින් සිටි ආරක්‍ෂක ලේකම්තුමා මා නොදැක්කා වගේ සිටීවි යැයි මා අනුමාන කළෙමි. නමුත් මා සිතුවා වැරදිය. අවුරුදු 50කට පසුවත් මා ඈත සිටම හඳුනාගත් එතුමා මා ළඟට පැමිණ දීර්ඝ ලෙස සුහද කතාබහක යෙදුණේය.

ගෝඨාභය සමඟ කොස්ගහට නැග්ග මගේ අයියා නිමල්සිරි අකාලයේ මිය ගිය බව අසා “අයියෝ දන්නවා නම් මමත් අවමඟුලට යනවා”යි කියමින් එතුමා තම ශෝකය ප්‍රකාශ කළේය.

එදා රටේ ආරක්‍ෂක ලේකම්තුමා වශයෙන් මට දශක පහකට පසුව හමු වූ ආනන්ද බෝඩිමේ ගෝඨා අයියා අද ශ්‍රී ලංකාවේ පූර්ණ බලැති ජනාධිපතිතුමාය.

රාජ්‍ය සේවයේ උදාසින බව අල්ලස, දුෂණය නින්දිත සරසවි නවක වදය වැනි සමාජ පිළිල මුළුමනින්ම තුරන් කර ඔහු නව ශ්‍රී ලංකාවක් ගොඩනගනු ඇතැයි සිතමින් ජනතාව ගිය වසරේ නොවැම්බර්වල එතුමා අපේ ජනාධිපති වශයෙන් පත් කළ දිනයේ ලොව වටා සිටි ආදි ආනන්දීයයන් තරම් අාඩම්බරයට පත් වූ කිසිම පිරිසක් නැත. ජාතිය අමතා කළ මංගල කතාවේදි තමන් උගතකු හා නැණවතෙකු කළ පාසැල් මාතාව ආදරයෙන් මතක් කළ ශ්‍රී ලංකාවේ එකම රාජ්‍ය නායකයාද ගෝඨා අයියා විය හැකිය.

• දෙව්සිරි පී. හේවාවිදාන ලන්ඩන් නුවර සිට ලියයි