සිංහල ජාතියේ ඉතිහාසය යැයි සලකන මහා වංශය අද වනවිට ලෝක උරුමයක් වී තිබේ. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ අංශාධිපති රෝහිත දිසානායක මහතාගේ මෙහෙය වීමෙන් දීර්ඝ කාලීනව කළ පර්යේෂණයක් යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පසුගියදා නිල වශයෙන් මහා වංශ පිටපත ලෝක උරුමයක් ලෙසට ප්‍රකාශයට පත් කෙරිණ.

මහා වංශය ලියැවුණේ සයවන සියවසේ දී මහානාම හිමියන් අතිනි. සීහල අට්ඨ කතාව සහ උත්තර විහාර අට්ඨ කතාව ද ඇසුරු කර ගනිමින් තවත් මූලාශ්‍ර මත පදනම්ව ලියැවුණු මහා වංශය රජවරුන් දිරිමත් කිරීමටත් ශාසනයෙහි ඇඳ බැඳ තබා ගැනීමේ අරමුණින් සහ ජාතික අභිමානය ඇති කිරීමටත් ලියන ලද්දකි. සිංහල රාජාවලියේ ඉතිහාසය, ශාසනික ඉතිහාසය සහ සාමාන්‍ය ජන ඉතිහාසයෙන් තෝරා ගැනුණු කතා රැසක් ඊට අඩංගුය. මහා වංශයේ ඇතුළත ගාථා ගණන දෙදහස් නවසිය පහළොවකි.

මහනාම හිමියන් අතින් ලියැවුණු මහා වංශයේ මුල්පරිඡේද තිස්හතකි.. ඉන්පසු තිස්අට වන පරිඡේදයේ සිට අසූව දක්වා ධම්මකිත්ති නම් ස්වාමින් වහන්සේනමක් විසින් රචනා කරන අතර අනතුරුව තුන්වන කොටස වන අසූවේ සිට අනූව දක්වා ලියා ඇත්තේ බුද්ධරක්ඛිත නම් හිමිනමකි. සතරවන කොටස වන අනූඑකේ සිට සියය දක්වා තිබ්බටුවාවේ සිද්ධාර්ථ බුද්ධ රක්ඛිත නම් හිමියන් ද පස්වැන්න එනම් එකසිය එක්වන කොටස මල්වතු මහානායන වශයෙන් වැඩ සිටි පූජ්‍ය තිබ්බටුවාවේ සුමංගල නම් නායක ස්වාමින් වහන්සේ විසින් රචනා කර ඇත.

කීර්ති ශ්‍රී රාජසිංහ කාලයේ සිට අවසන් ශ්‍රී වික්‍රම රාජසිංහ යුගය දක්වා එහි කරුණු අඩංගු වේ. මහා වංශ පිටපත් හතක් දැනට පේරාදෙණියේ පුස්තකාලය සතුවන අතර ඉන් පැරණිතම සම්පූර්ණතම පුස්කොළ ග්‍රන්ථය ලෙසට පූජ්‍ය තිබ්බටුවාවේ සුමංගල ස්ථවිරයන් වහන්සේ විසින් රචනා කරන ලද පිටපත හඳුනාගෙන තිබේ. දැනට ලෝක උරුමයක් කර තිබෙන්නේ එම මහා වංශ පිටපතයි.

පළමු වන පරාක්‍රමබාහු රජු ගේ දුවණියක් කාම්බෝජ රජෙකුට විවාහ කර දීමෙන් පසු කාම්බෝජයේ දී තවත් මහා වංශයක් ලියැවි තිබේ. එය හඳුන්වනුයේ විට්ටාරික මහා වංශය ලෙසිනි. එහි ගාථා 5772 කි. එසේ ම මහා වංශ පිටපත් කීපයක් ජර්මන් බසට ද ඉංග්‍රීසි බසට ද පරිවර්තනය වී තිබේ. විල්හෙම් ගයිගර් පඬිතුමා පරිවර්තනය කළ මහා වංශයේ දෙවන පරිඡේදය එනම් මහසෙන් රජුගෙන් පසු කාලය චූලවංශය වශයෙන් හඳුන්වා දී තිබේ. මහා වංශය අඛණ්ඩ ඉතිහාස ග්‍රන්ථයකි. එහි මහා වංශ චූලවංශ භේදයක් තිබිය හැකි නොවේ.

නමුත් ඔකාවස් පරපුරෙන් රාජ්‍ය උරුමයට බට රජ දරුවන් ගෙන් පසු ශ්‍රී මහා බෝ වඩා පැමිණි ලම්භකර්ණ පරම්පරා දෙක රජකමට පත් වීමෙන් පසු ඒ රාජාවලිය ද කේශධාතු වඩ්ම්මවා පැමිණි පරපුර ද දන්ත හේමමාලා කීරවැල්ල පරපුර ද සුළුරාජ වංශ වශයෙන් හඳුන්වා දී තිබෙන බව සැලකිය යුතුය. ශ්‍රී මහා බෝ සමිඳුන් වඩම්මවා සංඝමිත්තා තෙරණියන් දඹකොළ පටුනට පැමිණ පළමුව නවාතැන් ගත් ස්ථානය අද හඳුන්වන්නේ තිස්ස මළුව යනුවෙනි. වර්තමාන චුලිපුරම් නමින් දක්වන යාපන අර්ධද්වීපයේ ගම්මානය තුළ තිස්ස මළුව ඇත. රජකම කිසිවිටකත් නොපැතුව මැනවයි කියා විදුරනන්ද කුමාරයා සහ බෝධිගුත්ත කුමරුන්ගේ පෙළපත්වලට එදා ඒ පෙදෙස භාර කළ බව දැක්වේ. චූල වංශ පුර චුලිපුරම් වී ඇත..

පුස්කොළ පත්ඉරුවල ලියැවුණු මහා වංශ පිටපත් වල රමණීයත්වය වචනයෙන් විස්තර කළ නොහැකිය. හංස ශෛලියෙන් ලියූ ඒ අකුරු නෙතට ප්‍රිය ජනකය. භික්ෂූන් වහන්සේලා විසින් පත්ඉරුව නියපොත්ත උඩ තබාගෙන බොහෝ වෙහෙස මහන්සියෙන් පන්හිඳ යොදා ගනිමින් ඉවසීමෙන් ලියූ වංශ කතාවලියක් වෙනත් රටකින් හමුනොවන තරම්ය. ධර්ම ග්‍රන්ථ, සාහිත්‍ය ග්‍රන්ථ, වංශ කතා සහ ශිල්ප ශාස්ත්‍ර ග්‍රන්ථ රචනා කරන්නට උන්වහන්සේලා දැක්වූ සමත්කම උච්චතම අවස්ථාවට පත් වන්නේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන අවස්ථාවේ දීය.

භික්ෂු වහන්සේලා සතු ඒ අධිෂ්ඨාන ශක්තිය අද අගය කරනු නොලබති. කනගාටුවට කරුණනම් විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන තරුණ භික්ෂූන් වහන්සේලා හට පවා එහි වටිනාකමක් නොතේරීමයි. පුස්කොළ පොත් පරිහරණය නොකිරීම නිසා අල්මාරි පිටින් විදේශිකයන්ට විකුණූ අවස්ථා දක්නට තිබේ. එසේම පෙර මෙම ග්‍රන්ථ රචනා කිරීමට මහා විහාරීය භික්ෂූන් වහන්සේලා දැක්වූ උනන්දුව ක්‍රමානුකූලව අඩු වී තිබේ. පිරිවෙන්වල මුල්බැස ගෙන තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය අනුදත් විෂය මාලාවකි. පැරණි ශාසනික පොතපත වංශ කතා සම්පූර්ණ වශයෙන් පරිහරණය කරන පිරිස අඩු වෙමින් ඇත.

වර්තමානයේ රට පත්ව සිටින ආර්ථික අගාධයට මූලික හේතුවනම් බුදුන් වහන්සේ වදාළ ධර්මය අනුව කටයුතු නොකිරීමයි. ආදායම් වියදම් සමබර නොකර අයථා පරිභෝජනයට යොමු වීමයි. එසේ කොට රට රටවලට ගොස් හිඟා කා ණය සොච්චමක් ලබාගෙන වංශය කබල් ගෑමට වර්තමාන පරපුර අතිදක්ෂය. මහා වංශ තුළ ඉස්මතු වන කතා අද ශිලා ලේඛන මගින් සනාථ වී තිබේ.

මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම වීමෙන් පසු ඇති වූ ශාසනික ප්‍රබෝධය සහ රජවරු සිය රාජ්‍ය පාලනයට බුදුන් වහන්සේ ගේ ධර්මය යොදා ගත් ආකාරය ද රජුන්ගේ සාම ගිවිසුම් ද මහා වංශයෙන් දැක්වේ. සංගමු විහාර ශිලා ලේඛනයේ මේ ගිවිසුම ඇත. මහා වංශය මෙවැනි වීර කාව්‍යයක් ,දේශපාලන ග්‍රන්ථයක් පමණක් නොව, ජාතියක පැවැත්ම සහතික කළ ජාතියේ ඒකමිතිය ඇති කළ මහාර්ඝ ඉතිහාස ග්‍රන්ථයකි. නමුත් වර්තමානිකයන් විසින් මහා වංශය අද පුස්තකාලවල හිර කර තිබේ. පරිහරණය නොකිරීමට සහ විශ්වාස නොකිරීමට මතවාද සදමින් සීල් තබා තිබේ.

මෙහි වඩාත්ම ඛේදනීය තත්ත්වය නම් මහාවංශය මගින් කියැවෙන ඉතිහාසය ජාත්‍යන්තරව නොපිළිගැනීමයි. කළුමැද දුම්මල තෙල් ගා අලංකාර කම්බාවකින් සැරසුණු මහා වංශ පිටපත යුනෙස්කෝ අධ්‍යක්ෂක ජනරාල් අවුඩ්ඩේ‍ර ඔසේලෝ මහත්මිය විසින් සහතික දී පිළිගනු ලැබූව ද අන්තර්ගතයට පිළිගැනුමක් තිබෙන බවට සහතිකයක් නැත. ඒ වෙනුවට ජාත්‍යන්තර සම්මේලනවලදී විශේෂයෙන්ම මානව හිමිකම් සමුළුවේ දී පිළිගනු ලබනුයේ දෙමළ අන්තවාදී මහාචාර්යවරු අතින් ලියැවුණු ඉතිහාස ලේඛනයන්ය. උතුරේ තිබූ මහා වංශ ගත ඉතිහාසය හෝ ශාසනික ඉතිහාසය පිළිගන්නට කිසිවකුත් ඉදිරිපත් නොවේ.

නැඟෙනහිර ගෝකණ්න රටේ ගෝකණ්න විහාරයට වඩා කෝනේශ්වරමට ඔප්පු ලියන සිංහල විද්වතුන් ද සිටිති. 1930 දී පමණ ජී.ජී. පොන්නම්බලම් මහතා මහා වංශ රජවරු සියල්ල ද්‍රවිඩයන් බවට වර්ග කිරීමට උත්සාහ දැරීය. ඉන්පසු 1936 දී නාවලපිටියේ දී ඒ සම්බන්ධව කළ කතාවක් නිසා දෙමළ හා සිංහල ජනතාව අතර විරසකයක් ඇති විය. ජාතිවාදී කෝළාහලයකට නොගිහින් බේරුණේ බි්‍රතාන්‍ය රජය නුවණක්කාර ලෙසට කටයුතු කිරීමෙනි. මෑත කාලයේ දී සී.වී.විග්නේශ්වරන්ද එම්.ඒ. සුමන්තිරන් යන මන්ත්‍රීවරු ද මෙලෙස ඉතිහාසය විකෘති කරමින් මාධ්‍යවලට කරුණු ඉදිරිපත් කර ඇත.

කොටි ත්‍රස්තයන් උතුර සහ නැඟෙනහිර අත්පත් කර සිටි සමයේ දී ප්‍රභාකරන් ගේ මෙහෙය වීමෙන් කොටි පැටවුන්ට ඉගෙනීම සඳහා බොරු ඉතිහාස කතා හතරක් ලියා ඇත. අද ජීවත්වන දෙමළ තරුණ පරම්පරාව විශ්වාස කරන්නේ ඒ ව්‍යාජ ප්‍රලාපයන්ය. මේ තත්ත්වය මත මහා වංශය ලෝක උරුමයක් කරමින් ජගත් පිළිගැනුමට ලක් කිරිම තුළින් මහා වංශයේ අමිල වටිනාකම අප ලෝකයට හෙළි කළ යුතුය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙයට මුල් වී කළ පර්යේෂණය අගය කළ යුතු අතර අනෙකුත් සියලු විශ්වවිද්‍යාල අංශ ඉදිරිපත්ව ජගත් සම්මන්ත්‍රණ සංවිධන කරමින් මහා වංශයේ අගය විග්‍රහ කොට මෙරට ජීවත් වන අදීන ජාතියක අභිමානය ලොවට කියා දියයුතුය. එසේම මහා වංශය අනුගමනය කරමින් අනාගතය සකස් කර ගැනීමට ද අඩිතාලම දැමිය යුතු යැයි කල්පනා කරමි.

මතුගම සෙනෙවිරුවන්