වෙල්ලස්සේ රන් මැණිකා අප අමතා ඇගේ අවසන් ලිපිය ලීවේ 1818 දෙසැම්බර් 18 වෙනිදාය. එදිනට එළිවෙද්දී ඇය සාගරයක කදුලු හෙළන්නට ඇතැයි මම සිතමි.

රන්මැණිකා ගේ අවසන් හසුන ලියවී තිබූණේ තල්පතක නොවේ. රළු ගොරෝසු කඩදාසියකය. එවැනි කඩදාසි පත්‍ර තැනීම ඌව වෙල්ලස්ස ගෘහ කර්මාන්තයක්ව තිබිණි. ඒ මත අකුරු ලිවීමට යොදා ගැනුනේ ඉත්තෑකූරුය. ලිවීමට භාවිතයට ගත් තීන්ත වර්ග නානා,ගඩා ගෙඩිවලින් හා ගස්වල පොතුවලින් ගත් සාරයෙන් ප්‍රමිතියට සාදාගෙන තිබිණි.

ඔබ නියම සිංහලයෙක් වී රන් මැණිකාගේ අවසන් හසුන එකවරම කියවූයේ නම් ඔබට ඒය දුකක්ම වනු ඇත. ඇය එය ලිවූ අයුරින්ම මෙය ඔබ හමුවේ මෙසේ තබමි.

“සබඳ” ,

තවම ඉරහඳ පුපුරා හැලුණේ නැත. අහසේ තරු කඩා වැටුණේ නැත. මහ මුහුද ගොඩ ගලා ගියේ නැත. සුද්දන් වෙල්ලස්සට කර තිබෙන හානි හැටියට නම් ඒ සියල්ලම විය යුතුව තිබිණි.

මම මෙතෙක් කිසිවෙකුට බැගෑපත් නොවූයෙමි. අතද නොපෑවෙමි. අනුකම්පාව සිඟා නොකෑවෙමි. එහෙත් මා වෙනුවෙන් කඳුළක් හෙලන්නැයි මෙවර බැගෑපත්ව ඉල්ලමි. මා එසේ ඉල්ලන්නේ හඬන්නට වැළපෙන්නට මගේ හිතේ තවත් කඳුළු නැති බැවිනි .

මට හැඟෙන විදියෙන් නම් මේ මගේ අවසන් ලිපිය විය හැකිය. මෙය ඔබගේ අතට පත් වේදැයි කියන්නට මම නොදනිමි. ලිපිය ලිවිය යුතු නිසාම ලියන්නෙමි.

කිවුලේගෙදර වන අපේ ගම්මානයට මදක් ඔබ්බෙන් මහා වනාන්තරය මැද කඳු ගැටයක් මුදුනේ වූ ගල්ලෙන තුළට වී මෙය ලියමි. මේ ගල්ලෙනේ දෙපස තවත් ලෙන් දෙකකි. එකක මුවැත්තියක් පැටවුන් සමගය ,අනෙක් ගල්ලෙනේ වලස් මවකි. ඔවුන්ගේ වාසය සඳහා සොභාදහම දායාද කළ ලෙනට මා වැදී සිටීම ගැන කණගාටුවක් ඇත. සුද්දන් අප රට අල්ලගත්ත සේ නොව මා මේ ලෙනට වැදුණේ මට ඉන්න සිටින තැනක් නැති අසරණ කමටය. මට මේ ඉරණම අත් වූයේ අපේ රටේ රදළයින් රැලක් මව්බිම පාවාදුන් හෙයිනි.

මේවට විරුද්ධව නැගී සිටි මගේ පියාගේ නිවස ගිනි තබා අළු කොට ඇත. මෑණියන් මිදුලට ඇද දමා වෙඩි තබා මරා ඒ ගින්නට ම ඇද දමා ඇත.
යුද බිමට ගිය මගේ මහානාම කොහේ දැයි නොදනිමි. මලණු ටිකිරි අතරමංවී ඇත. සුද්දන්ගේ ගිනි අවියෙන් බේරෙන්නට සිඟිති දියණිය තුරුලු කොටගෙන වන වැදුණු මම වරුවක් තිස්සේ දණ ගා, බඩගාමින් ගල්ලෙනට වැදී ගතිමි. අවුරුදු දහස් ගණනක් තිස්සේ නිවහල් දේශයක උරුමය ඇතිව සිටි මම අද මගේම දේශයේ ගල්ලෙනක මෙසේ සිරකාරියක්ව තනි වී සිටිමි.

1818 සිංහලයන් නිදහස් සටන වෙනුවෙන් ලාබාල ගැහැණියක හැටියට මා අතින් ඉටුවිය යුතු යුතුකම්වලින් හෝ අතපසු වී ඇත්නම් මට සමාවන්න දැයි පළමුව අයැදිමි.
1818 ඔක්තෝබර් 27,නොවැම්බර් 26,දෙසැම්බර් 18 මහ අවාසනාවන්ත දවස් යැයි මම ඔබට කියමි. ඔක්තෝබර් 27 ඇල්ලේපොල මගේ මාමණ්ඩිත්, කණිටු ඇහැලේපොලත් බෝගම්බර වධක භූමියේදී සුද්දාගෙ අසිපතට ගෙල දුන්නා ඔබ දනී. එසේම නොවැම්බර් 26 වෙනිදා කැප්පෙටිපොළ නිළමේතුමාත් මඩුගල්ලේ නිලමේතුමාත් එම අසිපතටම ගෙල දුන් බවත් ඔබ දනී.

දැන් මගේ පියා වන කිවුලේගෙදර මොහොට්ටාල වීරයා එල්ලා මරන්ට ද තෝරා ගෙන තිබෙන්නේ අද දෙසැම්බර් මස 18 වැනිදාය.
මේ සිද්ධිය කලින් දැනගත් මම ඒ දිනය උදා නොකරන්නැයි මහ පොළොවේපොළොවේ අත් ගසා කන්නලව් කළෙමි. සුද්දන් බදුල්ලේදී එල්ලා මරණ්න යන්නේ සටන පැරදීම නිසාම අභිරහස් ලෙස මරණය ළඟා කරගත් පියාගේ මළසිරුරය. පියාගේ පණ සුන් සිරුර ට කරන අගෞරවය මට දරාගත නොහැක.

මගෙ මාමන්ඩිය සුද්දාගෙ කඩුවට ගෙළ දුන් හැටිත් අපූරුය. සිහින නින්දක් පාසා එතුමාගේ එඩිතර භාවය ගැන සිතා වැලහින්නක් සේ හඬා වැටෙන්නෙමි. අසිපත ගෙල පාන්නට පෙර එතුමා මෙසේ කියා තිබිණි.
“සටන දිනා දීමට මම උපරිම වීරියෙන් කැප වුණෙමි එය මගේ වගකීමක් විය. ඒත් මොල්ලිගොඩලා,එක්නැලිගොඩගේ වැඩ නිසා එය දිනා දීමට අපහසු විය. එහෙයින් මා අසමත් පුද්ගලයෙකු විය. මාගේ මෙහෙවර ඉටු කර දීමට නොහැකි වූ නිසා මා මියගිය විට සිරුරට ගරු බුහුමන් දක්වා ආදානය කිරීම වටින්නේ නැත. ඒ නිසා මාගේ සිරුර කෑලිවලට කපා බල්ලන්ටත්, කපුටන්ටත් කෑමට දිය යුතුය.

සබඳ ,
“හඳුනා” නම් වැදි සොයුරාගෙන් මා අසා ගත් තොරතුරකි මේ, මගේ මාමන්ඩිය ඇහැලේපොළ ගැනය. එතුමා එදා බෝගම්බර වධක භූමියේදී දෙපා පොළොවට තබා හිස නමා වධකයාට ගෙල පෑ වෙලේ ගැසූ කඩු පහරින් ගෙල වැදී කඩුව තලයෙන්ම දෙකට කැඩී ගියේය, එහෙත් එතුමා සිටි ඉරියව්වෙන් ම සිටියා . දිය තුවක්කුවකින් විදින්නා සේ ගෙලෙන් රතු ලේ ධාරාවක් අහසට විදිද්දීත් එතුමා ඒ ඉරියව්වෙන් ම සිටියා. සුද්දා ගෙනත් දුන් දෙවැනි කඩුවෙන් එතුමාගේ හිස වෙන් වුනා. සුද්දාගේ කඩුවට වඩා සවියක් එතුමාගේ බෙල්ලට තිබුණා.

වෙල්ලස්ස එදා විශාල මහනුවර වගේ. ගෙයක් දොරක් කියා බලන්නට කිසිම දෙයක් නෑ. වැළපෙන්නවත් කෙනෙක් නෑ. අළු ගොඩවල් හැම පාරකම සිඟිත්තන්ගේ පටන් මහල්ලාගේ දක්වා දිරාපත්වෙමින් යන මළ සිරුරු. කොස් දෙල්,පොල්, පුවක්,දොඩම්, නාරං ගස් කපා බිම දමාය. යකුන් නැටුවා සේය. පසුගිය කාලය තුළ මා දුටුවේ වැහැරී ගිය මිනිසෙකුත්,ස්ත්‍රියකුත් පමණි.

වෙල්ලස්සෙන් පැන වනාන්තර ගත වූවන් කුසගින්නට හුඹස් මැටි, ගස් වල පොතු ,ගැඩවිල් පසුත්,අළුත් කන බව මට ඔවුන් පවසා තිබිණි. යුද්ධ නීතිය ගැන නොදන්නා බල්ලනුත්, බළලුනුත් මහමග මරා දමා තිබිණි. සුද්දන් විසින් මරා පුළුස්සා කන ලද ගවයින් ප්‍රමාණය කිව නොහැකිය . ගව මළකුණු වලින් හා මිනිස් මළකුණු වලින් හමන දුර්ගන්ධය නිසා මුළු වෙල්ලස්ස ම අමු සොහොනක් ව තිබිණි.

එදා අතරමංව සිටි සුදු දරුවා තුරුළු කොටගෙන පැමිණි මගේ පියා සුද්දන් අපගේ නිවස පුලුස්සා තිබෙනු දුටුවිට ඔහුගේ නෙතින් ගිනි පුළිඟු පිට වන්නට ඇත. ඒත් සටන්කාමියෙකු මෙන්ම කවියකු හා බුද්ධිමතකු වූ පියා අහිංසක සුදු දරුවාට ද මෛත්‍රී කළේ. එක් දිනක් සුදු දරුවාත් රැගෙන පියා මා සිටින ගුහාවට ඇවිත්,

“රන් මැණිකා මේ කිරි සප්පයාට දවස් දෙකකින් ආහාරයක් නෑ ,මගදිගට පැන් පොවමින් ආවේ මේකට ඔබෙන් කිරි උගුරක් දීපන් “කීවේය.

මාගේ පියා මොනතරම් උදාර මිනිසෙක් ද ? මේ කිරිසප්පයා ගේ පරපුරේ උන් මගේ පියාගේ පනසුන් සිරුරටත් අපහාස කරනවා නොවේද ?

මා තීරණය කළා මගේ වම් තනේ අයිතිය සුදු පැටියාට කියා ,දකුණු තනේ මාගේ කුසින් වැදූ ඒකීට, මා දරු සෙනෙහස ඇති මිනිස් කාන්තාවක් යැයි ඔබට සිතෙන්නේ ද? මා සියල්ල අමතක කර හසුන ලියන්න ගත්තත් පියාණන් සිහිවෙනවා.

මං මගේ කුසින් වැදූ දුවට කියන්නේ
“දුවේ අපි බුදු බණ අහපු ජාතියක්, උන්ගෙ මුත්තලා හෙලුවෙන් වනාන්තරවල තිරිසනුන් දඩයම් කරද්දි අපි බුදුහිමියන් වෙනුවෙන් අහස උසට දාගැබ් බැන්දා . ඉතිං අපි මිලේච්ඡ ජාතියක් කියලා බ්‍රරවුන්රිග් කිව්වට මං තරහ නෑ.”

“උඹ බඩ පිරෙන්න කිරි බීපං සුදු පුතේ ,මං ශීලාචාර සිංහල අම්මා කෙනෙක්. මගෙන් කිරි බීලා ලොකු මහත් වෙලා ලොකු මිනිහෙක් වුණදාට උඹගෙ මිනිස්සු අතරට ගිහින් කියපං සිංහල මිනිසුන් මොනවගේ උන්ද කියලා “

මගේ නෙතින් මොර ගෙඩි තරමට කලකදි හැලූ කඳුළු බිඳු දැන් දොඹ ගෙඩි තරම් වෙලා. ඇයි අනේ සිංහල යැයි කියා ගත් මොල්ලිගොඩලාට රත්වත්තෙලාට,එක්නැලිගොඩලාට හදවතක් ඇත්තේම නැද්ද ?

“මෙන්න සබඳ ආයෙත් සුද්දන්ගේ ගිනි අවියේ හඬ ඇසෙනවා”. බ්‍රවුන්රිග්ගේ යටත් විජිත භාර මහලේකම්ට ලියා යැව්වේ සිංහලයන්ට ආයෙත් අවුරුදු ගනනකට වත් නැගිටින්න බැරිවෙන්න නම් වෙල්ලස්ස විනාශ කළ යුතුයි කියලා.
උන් ඒක අගේට කලා. ගේදොර සියල්ල ගිනි තබා කිරි උරණ දරුවන්ගේ පටන් හැරමිටියෙන් යන මහල්ලා දක්වා මිනිසුන් මරා දැම්මා, වනාන්තරයට වැදී අලි ඇතුන් මරා දැම්මා , හරක බාන වතුපිටි විනාශ කළා ,පිළිස්සී ගිය ගෙවල් ළඟ දැවුනු මළමිනි දැනුත් දකින්න පුළුවන්, සුද්දන්ගේ රජ්ජුරුවන්ට තවත් යටත් විජිතයක් එක් වුණේ එහෙමයි .

“සබඳ ,මං ඔබට කලින් කිවු වෙඩි හඬ මෙන්න දැන් ළඟ ළඟම ඇහෙනවා “
ගෝනුන් මුවන් ගල් ගුහාව වටේ සිහි මුලා වී පඳුරු බිඳගෙන දුවනවා. අසල ගල්ලෙනේ සිටි මුවැත්තියත් පැටවුනුත් දුවනවා. අසරණ ඔවුන්ට මරණ බයක් නැද්ද ?මට නම් මේ ගල් ගුහාව අතහැර පලා යන්න තැනක් නෑ. ,දරුවන් දෙදෙනෙකුත් කරපින්නා ගෙන මම කොහේ කියලා යන්නද ? මගේ කුසගින්නට පිහගන්න සඟවාගෙන තියෙන සහල් ටිකයි,ලුණු,මිරිසුයි කර ගහගෙන යන්න හැකිද?

මෙය මාගේ අවසන් වචන කීපයත් වෙන්න පුළුවන්, සුදු සෙබළු දැන් මගේ ගුහාව වටකරගෙන. බ්‍රවුන්රිග් ගේ සුදු සෙබළු මා දෙසට ගිනි අවිය මානාගෙන, තව එකෙක් පිටුපස හිඳගෙන “ෂූට් ෂූට්” කියනවා, මට හෙලන්න තවත් මගේ නෙතේ කඳුළු නෑ .

සබඳ, මා වෙනුවෙන් ඔබවත් කඳුලක් හෙලන්න..

                                                      රන් මැණිකා.

උපුටා ගැනීම් : අශෝක ප්‍රේමචන්ද්‍රයන්ගේ “වෙල්ලස්සේ කදුළ” කෘතියෙන් ලිපියේ කොටසකි.

පසුව රන් මැණිකාගේ ස්වාමියා වන මහනාමයන් ලෙන තුලට යනවිට සුදු දරුවා රැගෙන ගොස් ඇති අතර රන් මැණිකාටත් අදරණීය දියණියටත් ලෙන තුල වෙඩිතබා මරාදමා තිබිණ.