කොරේ පිටට මරේ කියන්නාක් මෙන් මේ දිනවල මහා බ්‍රිතාන්‍යයේ පැතිර යන කොරෝනා නව ප්‍රභේදය හේතුවෙන් මුළු ලොවම යළිත් වරක් භීතියට පත්ව සිටී. මේ භීතිය කොතරම්ද යත් ලොව රටවල් රැසක් බ්‍රිතාන්‍යය සමග ගුවන් ගමන් නතර කර දැමුවේය. එසේ ගුවන් ගමන් නතර කළ රටවල් අතර ශ්‍රී ලංකාවද සිටී. ගුවන් ගමන් නතර කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය වැසියෝ තම රටේ ආහාර හිඟයක් ඇතිවේ දැයි සැකෙන් සුපර් මාර්කට් හිස් කිරීම අරඹා තිබේ. නව කොරෝනාවත් සමග බ්‍රිතාන්‍යයේ උද්ගතව ඇති තත්ත්වයට අපේ ලේඛකයාද මැදිව සිටී. ඔහුද කොරෝනා නව ප්‍රභේදයෙන් බැට කා දිවි බේරාගත් අයෙකි. මේ ලන්ඩන් නුවර සිටින ඔහුගේ අත්දැකීම්ය. 

කොරෝනාව එතරම් ගණන් ගත යුතු දෙයක් නොවන බවත් එය හෙම්බිරිස්සාව වැනි සුළු රෝගයක් බවත් රජරට මහාචාර්යවරයකු පුවත්පතකට කළ ප්‍රකාශය දුටු මම මහත් කම්පනයටත් කෝපයටත් පත් වුණෙමි. රටේ වැදගත් උගත් මහාචාර්යවරයෙක් මේ අන්දමට ජනතාව මුළා කොට ඔවුන්ට රෝගය වැලඳීමට ඇති ඉඩකඩ වැඩි කරන්නේ ඇයි? 

කොරෝනාව යනු සෙල්ලමට ගත යුතු ලෙඩක් නොවන බව නැවත නැවත අත්දැකීමෙන් අවධාරණයෙන් කියමි. මෙම රෝගයේ භයානක තත්ත්වයත් එහි ඇති බරපතළ ජීවිත අවදානම ගැනත් වැටහෙන්නේ කොරෝනාව වැලඳී ඉතාමත් අමාරුවෙන් ගොඩට ආ අපි වැනි රෝගීන්ටය. පැමිණ ඇති බව බ්‍රිතාන්‍ය විශේෂඥයන් සොයා ගත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේය. එවකට ලොව පුරා පැතිරෙමින් තිබුණු කොරෝනාවට වඩා මෙය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන්නක් බව දැනගත් ඔවුහු ඒ ගැන බ්‍රිතාන්‍ය රජයට වහා අනතුරු ඇඟවීය. 

මේ දෙවැනි කොරෝනා ප්‍රභේදය මුලින්ම සොයා ගැනුණේ මා ජීවත්වන කෙන්ට් ප්‍රාන්තයේය. කෙන්ට්වලින් පටන් ගත් අලුත් රෝගය ලන්ඩන්වලට පැතිර යාමට ගත වූයේ සති දෙකකි. මුල් කොරෝනාවට වඩා මෙය ප්‍රභේද17කින් වෙනස්ය. අලුත් වයිරසයේ සාන්ද්‍රණයද වැඩිය. පරණ කොරෝනාවට වඩා මෙය පැතිර යාමේ වේගයද වැඩිය. ඒ කියන්නේ රෝගීන් ගණන වැඩි වන නිසා රෝහල්වල ඇඳන් ගණන මදි වීමටද ඉඩ තිබේ. ඒ නිසා අපට වුවමනාවට වඩා ඇඳන් තිබෙනවා කියා රජය විසින් පසුගිය මැයි මාසයේදී වසා දමන ලද ලන්ඩන් නයිටිංගේල් රෝහල නැවත පසුගියදා විවෘත කරන ලදී. 

මෙම අලුත් කොරෝනාව පරණ කොරෝනා ප්‍රභේදයට වඩා වේගයෙන් පැතිර යන නමුත් වාසනාවකටදෝ එය පරණ කොරෝනවට වඩා හානිකර නොවේ. එනිසා දැනට නිපදවා බෙදා හරිමින් පවතින ෆයිසා එන්නතට අලුත් කොරෝනාවත් එකසේ සුව කළ හැකිය. මෙය සෞඛ්‍ය අංශ ලබා ඇති ජයග්‍රහණයකි. 

නමුත් මෙම බ්‍රිතාන්‍යයේ අලුත් කොරෝනාවට ලෝකයේ රටවල් කොතරම් බය වී ඇත්ද කියනවා නම් මේ වන විට රටවල්60ක් බ්‍රිතන්‍යයෙන් ආගමනයන් පැමිණීම තහනම් කොට තිබේ. දෛනිකව පිටරටින් ගෙන්වනු ලබන බෙහෙත්, එළවළු, කුළුබඩු, එදිනෙදා නොයෙකුත් කෑම වර්ග,කිරිපිටි, බිස්කට්, ටොයිලට් රෝල් වැනි ජන ජීවිතයට අවශ්‍ය දහසක් බඩු භාණ්ඩ රැගෙන ඒම සඳහා අඟහරුවාදා ප්‍රංශය බලා ගමන් ආරම්භ කළ බ්‍රිතාන්‍ය ලොරි අටදාහකට තම රටට ඇතුළුවීම ප්‍රංශය විසින් තාවකාලිකව නතර කරන ලද නිසා ඒ සියලුම ලොරි කෙන්ට් ප්‍රාන්තයේ ඩෝවර් වරාය අසල හිර වී ඇත. පීසීආර් පරීක්ෂණයකට ලක් කොට ඔවුනට කොරෝනා නැතැයි සහතික වූ පසු රටට ඇතුළු විය හැකි යයි ප්‍රංශය (ඉකුත්24දා) බ්‍රිතන්‍ය අගමැතිතුමාට දැන්වීය. මෙය ලියන මොහොත වන විට බ්‍රිතාන්‍යයයේ යුද හමුදාව, වෛද්‍ය නිලධාරීහු, රියැදුරන් පීසීආර් පරීක්ෂාවට ලක්කිරීමේ යෙදී සිටිති. 

පසුගිය දෙසැම්බර්6 වැනිදා දවල්12ට පමණ අපේ17 වියැති දිනුම් පුතා හදිසියේ පාසලේ සිට ගෙදර පැමිණියේය. “අපේ පන්තියේ යාළුවෙකුට කොරෝනා. අපි ඔක්කොම ගෙදර එව්වා දවස් දහයකට නිරෝධායනය වෙන්න කියා’’ පුතා කීවේය. “බයවෙන්න එපා අම්මේ, ඒ යාළුවා ඉස්සරහම පේළියේ ඉන්නේ. මම අන්තිම පේළියේ. එයාගෙන් මට නම් කොරෝනා හැදෙන්න විදියක් නෑ’’ යි ඔහු සිනාසෙමින් අපිව අස්වැසුවේය. 

දවස් හතරක් පහක් කිසි කරදරයක් නැතුව සිටි පුතාට පස්වැනිදා හොඳටම උණ ගැනී තිබුණි. කොත්තමල්ලි ඩිස්ප්‍රින්වලින් ලෙඩ අඩු නොවෙන බව තේරුම් ගිය පසු අපි වහාම පුතා පීසීආර් පරීක්ෂණයකට ලක් කළෙමු. පුතාට කොරෝනා වැලඳී ඇති බව අපි දැනගත්තේ එවිටය. අපි ඉන්පසු ඔහුව හොඳින් පරිස්සම් කළෙමු. 

කොරෝනාව ඉතාමත් භයානක රෝගයක් බවත් ඉතා ශීඝ්‍රයෙන් බෝවෙන බවත් දැන සිටි අපි සියලු දෙනාම ගේ තුළ හිටියෙත් මාස්ක් දමාගෙනය. ගේ තුළදීත් දුරස්ථ භාවය රැකගැනීමට අපි සෑම උත්සාහයක්ම දැරුවෙමු. නමුත් ගෙදරක් තුළට පවුලේ සාමාජිකයෙක් හරහා කොරෝනාව ඇතුළු වුවහොත් පවුලේ අනික් සියලු දෙනාට එම රෝගයෙන් වැළකී සිටීම ඉතා දුෂ්කර කාරණයක් වනු ඇත. 

දෙවියන්ගේ පිහිටෙන් දෝ කොරෝනාව වැලඳී දවස් හයකට පමණ පසු අපේ පුතා සම්පූර්ණයෙන් සුවය ලැබීය. අපි සියලු දෙනම සැනසුම් සුසුම් හෙළුවෙමු. වෙන කාටවත් ලෙඩේ හැදෙන්න එපා යැයි බුදු පිළිමය ඉදිරිපිට ප්‍රාර්ථනා කළෙමු. 

නමුත් ඉන් දවස් දෙකකට පමණ පසු මට පොඩ්ඩක් උණ ගැනුණි. මා නම් එය වැඩිය ගණන් නොගත් නමුත් මගේ බිරිඳ රුවිනි පැරසිටිමෝල් පෙති දෙකක් පොවා මට ඉක්මනට නිදා ගන්නට සැලැස්වූවාය. මට වෙනත් රෝග ලක්ෂණ නොතිබුණු නිසා මේ සාමාන්‍ය උණක් යයි සිතා මම වෙනදා මෙන් අනෙකුත් වැඩවල යෙදෙන්නත් කම්පියුටරය ඉදිරිපිට වාඩිවී අරුණ පත්තරේට ලිපියක් ලියන්නත් සැරසුණෙමි. 

නමුත් එදින දවල්12වන විට මට මගේ ඇඟ පණ නැති වී යනවා සේ දැනුණි. ඒ බව රුවිනිට ඇඟිල්ලකින් ඇන දන්වන්නටත් පෙර මම කලන්තය දමා දඩබඩ ගා බිම වැටෙනවා මට දැනුණි. තප්පර10කින් පමණ මට නැවත සිහිය එන විට රුවිනි හා ශයිනි දියණිය මට මාරුවෙන් මාරුවට පවන් ගසමින් සිටියහ. ඔවුහු ඇම්බියුලන්ස් එකකින් වහාම මා රෝහලට ගෙන යන ලදී. ඒ වනවිට මගේ උණ වැඩිවෙමින් තිබුණ බව මට දැනෙමින් තිබුණි. වහාම හදිසි ඒකකයට මා ඇතුළත් කළ දොස්තරවරු මගේ ලේ කඩිනම් පරීක්ෂාවට ලක් කොට මගේ පපුව වහා එක්ස්රේ පරීක්ෂණයටද භාජනය කළෝය. මට කෙන්ට්වලින් මතු වූ අලුත් කොරෝනා ප්‍රභේදය වැලඳී ඇති බවත් මා ඉතා ප්‍රවේශම් විය යුතු බවත් වෛද්‍යවරු පවසන විට මට ඇස් අදහාගැනීමට බැරි විය. 

නොයෙකුත් වෛද්‍ය උපදෙස් සමග මා නැවත නිවස බලා පිටත් කර එවන ලදී. ඉන්පසු දවස් කිහිපය මගේ ජීවිතයේ මා ලද ඉතාම දරුණු අත්දැකීම විය. මගේ උණ හිටපු ගමන්39දක්වා ඉහළට නගී. රුවිනි මට පැරසිටමෝල් පෙති දෙකක් පැය හයෙන් හයට දෙයි. මගේ උණ ටිකක් අඩු වේ. ආයිත් හිටපු ගමන් උණ කලින්ටත් වඩා වැඩි වෙයි. රුවිනි දිගින් දිගටම මට කොත්තමල්ලි පොවයි. වෙනිවැල්ගැට සාදා දෙයි. මගේ චිත්ත ධෛර්යය වැඩිවන සේ කතා කරයි. 

කොරෝනාව මගේ ශ්වසන පද්ධතියට ඇතුළු වී ඇති බවට මට සැකක් නැත. එය ඉන් අනතුරුව මගේ පෙණහැල්ලට ඇතුළු වුවහොත් ජීවිතය බේරා ගැනීමට ඇති ඉඩකඩ ඉතා අඩුය. වයිරසයට මගේ පෙණහැල්ල තුළට කඩා වැදීමට ඉඩ නොදීම මගේ හා බිරිඳ රුවිනිගේ පරම බලාපොරොත්තුවයි. ඒ සඳහා අපි දෙදෙනාම දැන් ඉතා දීර්ඝ සටනකට ලැහැස්ති විය යුතුය. 

මෙහි තවත් බරපතළ ප්‍රශ්නයක් වෙන්නේ කොරෝනාව, තදබල ලෙස වැඩි වෙන රෝගීන්ට ජීවත් වීමට ඇති වුවමනාව නැති වීමයි. මේ නිසාම බ්‍රිතානයේ රෝගීන් බොහෝ දෙනෙකු දිවි නසාගෙන තිබේ. 

කොරෝනාවේ අටවැනි දිනය වනවිටත් මගෙ තත්ත්වයේ වෙනසක් තිබුණේ නැත. උණ නගින එකත් බහින එකත් මගේ සිතට වදයක් වූ වාර අනන්තය. ‘අයියෝ මෙහෙමම මැරිලා යනවා නම් කොච්චර හොඳ’ දැයි මට සිතුණේ වරක් හෝ දෙවරක් නොවේ. 

නමුත් ඒ සෑම විටම මට මතක් වූයේ මා විසින් ආරම්භ කරන ලද එක්සත් රාජධානියේ ගාලු මිතුරු පදනම මගින් කඹුරුපිටියේ දූ දරුවන්ට කරන සේවයයි. මේ දක්වා අප විසින් පාසල් අටකට පොත්පත් සමග අංගසම්පූර්ණ පුස්තකාල සාදා දී ඇත. අසරණ ළමුන්200ක් අපගේ ශිෂ්‍යත්ව මුදලින් පාසල් යති. දුප්පත් ළමුන් පන්දාහකට අධික පිරිසකට අප විසින් අලුත් පාවහන් ලබා දී ඇත. 

කොරෝනාව නිසා ජීවිතය එපා වේ ගෙන එන හැම විටම මම මේ සුන්දර දරුවන්ගේ මුහුණු සිහිපත් කර ගතිමි. “දෙව්සිරි ඔයා කොහොමද ඔහොම මැරෙන්න හදන්නේ. කඹුරුපිටියේ ළමයින්ට තව කොච්චර වැඩ කරන්න තියෙනවද’’ එනිසා හිතට ධෛර්යය අරගෙන ඉක්මනට සනීප වෙන්නැයි මගේ බිරිඳ දිගින් දිගටම මගේ කනට කෙඳිරීම ලොකු අස්වැසිල්ලක් විය. එයින් මගේ හිතට ලැබුණු ධෛර්යය අප්‍රමාණ යැයි කිව නොහැක. 

කොරෝනාව නිසා මා තදබල ලෙස අසනීපව ඇතැයි ආරංචි වූ කඹුරුපිටියේ නායක හිමිවරු කිහිප නමක්ම මට දුරකථනයෙන් සෙත් පිරිත් සජ්ඣායනා කරමින් සෙත්පැතුහ. “මහත්තයා තෙරුවන් බලෙන් සුව වී ගමට සේවය කරන්න ලබන අවුරුද්දෙත් ආපහු එන්න” යි උන්වහන්සේලා මා අස් වැසූසේක. මට නැවත් ජීවත්වීමට ශක්තිය ලබුණේ එයින්ය. 

තවත් සතියක්ම මම සිටියේ ඇඳේමය. දවසට හත් අට සැරයක් පැරසිටමෝල් හා කොත්තමල්ලි පානය කිරීම මගේ දින චර්යාවේ නොවරදින අංගයක් විය. 

වාසනාවක මහත. දහසය වැනි දවස වෙද්දී ටිකෙන් ටික මගේ අසනීප ගතිය අඩු වන බව මට දැනෙන්නට පටන් ගත්තේය. එලොව ගොස් මෙලොව පැමිණි මගේ මුහුණේ ප්‍රාණවත් බව දැකීම තරම් සතුටක් මගේ බිරිඳ හා දරුවන්ට නොවීය . 

මට අන්තිමට ඇඳෙන් නැගිටීමට ශක්තිය ලැබුණේ කොරෝනාව හැදී දහඅට වැනි දවසත් පසුවූ පසුය. මෙය කොතරම් දරුණු රෝගයක් දැයි දැන් ඔබටත් සක් සුදක් සේ පැහැදිලිවම පේනවා නොඅනුමානය. ඒ නිසා මම ඔබෙන් ඉල්ලා සිටින්නේ කොරෝනාව සුළුවට තකන්නයි කියමින් වෛද්‍ය විද්‍යාව අවතක්සේරුවට ලක් කරන අතළොස්සට කිසිම විදියකින් කන් නොදෙන ලෙසයි. ඔවුනට මුළා වී ඔබගේ මරණය ඉක්මන් කර නොගන්නා ලෙසයි. මා අත්දැකීමෙන් කියන දේට ඉතා හොඳින් හා වුවමනාවෙන් ඇහුම්කන් දෙන්න. රට පුරා පිස්සු නට නටා ගොස් මේ ලෙඩේ බෝකර නොගන්න. 

මේ අති භයානක කොරෝනා රෝගයෙන් ගැලවීමට ඔබට ඇති එකම ක්‍රමය රජයේ වෛද්‍ය උපදෙස් සියට සීයක්ම පිළිපදිමින් හැකිතාක් දුරට ගෙදරටම වී සිටීම පමණි. 

ගාල්ලේ දෙව්සිරි පී හේවාවිදාන
ලන්ඩන් නුවරසිට