පූර්විකාව

කවර ක්ෂේත්‍රයක වුවද වීරයන් බිහිවන්නේ කලාතුරකිනි. දුටුගැමුණු රජතුමා වීරයන්ගෙන් වීර යුග පුරුෂයෙකි. වංශකතා වල සටහන්ව ඇති රජවරුන් අතුරෙන් ජාතික වීරයන් වශයෙන් සලකනු ලබන සිංහල රජවරුන් අතරින් ප්‍රමුඛයා වන්නේ දුටුගැමුණු රජතුමාය.

ගැමුණු රජතුමා ගේ කුමාර අවධිය ඉතිහාසයේ සඳහන් වූවත් කාවන්තිස්ස රජතුමාගේ පළමු බිසව ශවේර දේවියගේ පුත් දීඝාභය කුමරු ගැන සඳහන් වන්නේ ඉතා අල්ප වශයෙනි.

විහාර දේවිය ගේ ගැමුණු තිස්ස යන කුමාරවරුන් හා රජමාලිගයේ හැදී වැඩුණු දීඝාභය කුමරු මාගම් පුරයෙන් පැනගොස් අනුරපුර එළාර රජතුමා ට එකතු වූයේ විහාරදේවිය ගෙන් වරදක් වූ නිසාද? නොඑසේ නම් ගැමුණු හා දීඝාභය සහෝදරයන් අතර රජකමට ගැටුමක් තිබූ නිසාද? එසේම වසර හතළිස් හතරක් වැනි දීර්ඝ කාලයක් අනුරපුර පාලනය කල ධාර්මිෂ්ඨ රජතුමාට ද ඉතිහාසය තුළ නිසි ඇගයීමක් නො කෙරුණේ මන්ද යන්න ප්‍රශ්නාර්ථයකි.

ගැමුණු කුමරුගේ ප්‍රේම සම්බන්ධය හා මංගල්‍යය පිළිබඳවද පැරණි ග්‍රන්ථයන්හි සටහන්ව ඇත්තේ මද වශයෙනි. මහාවංශය, දීපවංශය පැරණි ශිලාලේඛන මෙන්ම මුඛ පරම්පරා වශයෙන් පවතින ජන කතා ආශ්‍රයෙන් ද පැරණි තල්පත්, සන්නස් හා ඓතිහාසික පොත්පත්වල විසිරී තිබූ කරුණුද මට සොයාගත හැකි වූ තොරතුරුද ඒකරාශී කොට මෙම ඓතිහාසික නවකතාව ගොඩ නැගුවෙමි.

ආචාර්ය අනුර චන්ද්‍රසිරි