
- Author,බීබීසී සිංහල
- 26 මාර්තු 2025
යාපනය, කන්කසන්තුරේ, වලිකාමම් උතුර, තයියට්ටි ප්‍රදේශයේ දිවි ගෙවූ අයියතුරෛ රවීන්ද්‍රන්ට 1990 වසරේදී සිය ගම් බිම් අතහැර යාමට සිදුව ඇත්තේ, යුද්ධයෙන් උන් හිටි තැන් අහිමි වූවෙකු ලෙස ය.
එසේ ගම් බිම් හැර ගොස් ආරක්ෂක අංශවල අවසරය මත 2017දී නැවත එම ප්‍රදේශයට පැමිණි රවීන්ද්‍රන් ඇතුළු තවත් පිරිසකට තම ඉඩම් වෙත යාමට නොහැකිව ඇත්තේ, එම ඉඩම්වල පාලනය යුද්ධ හමුදාව අත පැවතීම නිසා ය.
- ‘පරප්පු 20ක පිහිටි බෞද්ධ විහාරය පරප්පු 150ක් වූ හැටි’

දශක තුනකට පෙර තමන්ට සිය මුල් ඉඩම් හැර යාමට සිදුවූ කාලයේදී ඒ ආශ්‍රිතව පරප්පු 20ක (පර්චස් 200ක් පමණ) පමණ භූමියක බෞද්ධ විහාරයක් තිබී ඇතැයි, පැවසූ රවීන්ද්‍රන් දැන් එය තම පෞද්ගලික ඉඩම් ද අත්පත් කර ගනිමින් පරප්පු 150ක (අක්කර 09ක පමණ) භූමියක් දක්වා විශාල කර ඇත්තේ යුද්ධ හමුදාවේ සහයෙන් බව ද පැවසුවේය.
“1990දී පරප්පු 20ක ඉඩමේ විහාරයක් තිබුණා. හැබැයි තිස්ස විහාරය කියලා නෙමෙයි. බෞද්ධ පන්සලක් තිබුණේ, පොඩි වෙහෙරක් එක්ක. ඒ කාලේ කන්කසන්තුරේ වරායේ වැඩ කරපු අය, රේගුවේ වැඩ කරපු අය, ෆැක්ටරිවල වැඩ කරපු සිංහල අය ඒ පන්සලට ආවා.”
“2017 මම එනකොට අපේ ගෙවල් දෙකක් තිබුණා, ඒ ගෙවල් දෙක ම කැඩිලා තිබුණේ. අපි ගෙවල් අතඇරලා යනකොට පොඩි බෑග් එකක දාගෙන අතට අහුවුණ දේවල් විතරයි අරන් ගියේ. අපි ආපහු එද්දි අපිට ගෙවලුත් නැහැ, මුකුත් නැහැ.”
“තිස්ස විහාරය හදලා තියෙන ඉඩම ඇතුළේ තමයි මගේ ඉඩමත් තියෙන්නේ. ඒ නිසා දැන් මගේ ඉඩමට යන්න බැරි වෙලා තියෙන්නේ,” යැයි අයියතුරෛ රවීන්ද්‍රන් පැවසීය.
රවීන්ද්‍රන් මෙන් තිස්ස විහාරය ඉදිකර ඇති භූමිය තුළ තම ඉඩම් පිහිටා තිබීම හේතුවෙන් ඒවාට ඇතුළු වීමට තහංචි වැටී ඇති පිරිසක් මාර්තු 20 වැනි දා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේ, ආණ්ඩුව මැදිහත්ව තම ඉඩම් නිදහස් කළ යුතු බව ය.

ජනපති සහ අගමැති ලේකම් වාර්තා කැඳවයි

2018දී එවකට ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ විසින් පැරණි පන්සල පැවති භූමියේ විහාරස්ථානයක් ඉදිකිරීම සඳහා මුල් ගල් තබනු ලැබ ඇති අතර කොවිඩ් වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා තිබුණු 2021 වසරේදී යුද්ධ හමුදාව පන්සල අවට දෙමළ ජනයාගේ ඉඩම් ද අත්පත් කර ගනිමින් තිස්ස විහාරය පුළුල් කර ඇති බවට එම ඉඩම් අහිමි වූ ජනතාව චෝදනා කරති.
පැරණි විහාරය තිබූ භූමිය මෙන් ම වර්තමානයේදී පෞද්ගලික ඉඩම් අත්පත් කර ගනිමින් තිස්ස විහාරය ඉදිකර ඇති භූමියේ දළ සිතියමක් ද බීබීසී සිංහල වෙත ඉඩම් අහිමි වූ ජනතාව විසින් ලබා දෙන ලදී.
තම භූමියේ අනවසරයෙන් බෞද්ධ විහාරයක් ඉදිකිරීම සම්බන්ධව අදාළ බලධාරීන් දැනුවත් කර ඇතත්, එම විහාරය ඉදිකිරීම නතර නොකළ අතර, තමන්ට නිසි විසඳුමක් නොලැබුණ බව ද එම පිරිස් මාධ්‍ය වෙත පවසා තිබිණි.
“ප්‍රාදේශීය සභාව මේ ප්‍රශ්නය ගැන ජනාධිපතිට යි, අගමැතිට යි ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඒකට 2022දී ජනාධිපති ලේකම් සහ අගමැති ලේකම් බෞද්ධ කටයුතු අමාත්‍යංශයට දැනුම් දීලා තිබුණා ඉදිකිරීම් නවත්තලා වාර්තාවක් දෙන්න කියලා. ඒ ලියුමේ පිටපතක් ප්‍රාදේශීය සභාවට එවලා තිබුණා,” යැයි තිස්ස විහාරය ඉදිකිරීම නිසා තම ඉඩම අහිමි වී ඇති පත්මනාදන් සාරුජන් බීබීසී සිංහල වෙත පැවසීය.
දැනට දින දෙකකට පමණ ඉහතදී ද විහාර භූමියේ ඉදිකරන ලද නව ගොඩනැගිල්ලක් විවෘත කළ බව ඔහු තවදුරටත් පැවසුවේ ය.
ඉඩම් නිදහස් කර දෙන මෙන් ඉල්ලා 2023 වසරේ සිට සෑම පොහොය දිනයක ම ඔවුහු විහාරය අසල විරෝධතාවක ද නිරත වෙති.

විහාරාධිපති හිමිගේ ප්‍රතිචාරය
යාපනය, කන්කසන්තුරේ තිස්ස විහාරයේ ඉඩම් පිළිබඳව මතුව ඇති ගැටලුව පිළිබඳව බීබීසි සිංහල සේවය එම විහාරය භාර ගිංතොට නන්දාරම හිමියන්ගෙන් කරුණු විමසීමක් කළේ ය.
“තිස්ස විහාරය ඉදිකළේ තිස්ස විහාර බිමේ. තිස්ස විහාරය ඉදිකරනකොට ඒ බිමේ ගෙවල් තිබුණේ නැහැ. ඔය දැන් තමයි ඔප්පු කීපයක් සකස් කරගෙන උද්ඝෝෂණයේ යෙදෙන්නේ. ඒ ලියාගත්තු ඔප්පුත් නීත්‍යනුකූල නැහැ කියන එක තමයි දැනෙන්නේ.”
“මේක පැරණි ඉතිහාසයේ ඉඳලා එන පුදබිමක්. 1956 සිතියමෙත් පෙන්නුම් කරලා තියෙනවා. 1971 කන්කසන්තුරේ නගර සීමාවෙත් වෙන් කරලා තියෙනවා. මහාවංශයේ සහ බෝධිවංශයෙත් පෙන්නුම් කරනවා. ඒ ඉඩම තෝරාගෙන තමයි මේ පන්සල සකස් කළේ,” ගිංතොට නන්දාරම හිමියෝ ප්‍රකාශ කළහ.
සිතියම්වලට අනුව අක්කර 14කට වැඩි භූමි ප්‍රමාණයක් තිස්ස විහාරයට හිමිව තිබුණ ද මේ වන විට ඇතැම් කොටස්වල ජනතාව නිවාස ඉදිකර ඇති බැවින්, දැනට තිස්ස විහාරයට අයත් වන්නේ, අක්කර 8ක භූමියක් බව ද ගිංතොට නන්දාරාම හිමියෝ පැවසූහ.
“මම බුද්ධ ශාසන අමාත්‍යංශයටත් මාත් එක්ක කතා කරපුවා ම කිව්වේ ගෙවල් හැදිච්ච ප්‍රමාණය ඒ අයට දෙන්න, ඒ අයට කරදර කරන්න එපා කියලා ඒ මිනිස්සු නිසා. පන්සල සකස් වෙච්ච මේ වැට ගහලා තියෙන ප්‍රමාණය පන්සලට තිබුණා ම ඇති කියලා.”
ගැටලුව විසඳීමට මැදිහත් වෙන බව ඇමති කියයි
ඉඩම් අහිමි වී ඇති දෙමළ ජනයාගෙන් කිහිප දෙනෙකු පසුගිය දිනක බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි හමුවී තම ගැටලුව පිළිබඳව සාකච්ඡා කර තිබිණි.
මෙම ගැටලුව ඍජු ලෙස තම අමාත්‍යංශයට අයිති නොවුණ ද මෙම ගැටලු විසඳා ගැනීමට මැදිහත්කරුවෙකු ලෙස සිය දායකත්වය ලබා දිය හැකි යැයි එම ජනතාවට දැනුම් දුන් බව අමාත්‍යවරයා බීබීසී සිංහල වෙත පැවසුවේ ය.
“මම කිව්වා මේකේ පන්සලක් තියෙන නිසා, බුද්ධ ශාසන අමාත්‍යංශයට මේකේ කොටසක් අයිති නිසා. මම කිව්වා ඒ අයට එයාලගේ සමස්ත ගැටලුව මට ලියලා ඉදිරිපත් කරන්න මම මැදිහත්කරුවෙකු හැටියට මේ ප්‍රශ්නය විසඳන්න මැදිහත් වෙන්නම් කියලා.
“මම කිව්වා දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුවට මේක ඉදිරිපත් කරන්න, අපිට මේක ඉදිරිපත් කරන්න, මම එතකොට ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වගේ මේ වගේ අයිතිය තියෙන ආයතන එක්ක කතා කරලා, ඒ ආයතනවල නිර්දේශ ගෙන්න ගෙන, මැදිහත්කරුවෙක් ලෙස මැදිහත් වෙන්නම් මේ ප්‍රශ්නය විසඳන්න කියලා,” යැයි අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි බීබීසී සිංහල වෙත පැවසීය.
යුද්ධ හමුදාව මොක ද කියන්නේ?
යාපනය, තයියට්ටි තිස්ස විහාරයේ කටයුතු පිළිබඳව හමුදාවට එල්ල වන චෝදනා සම්බන්ධව බීබීසී සිංහල හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේගෙන් කරුණු විමසීමක් කළේ ය.
ඕනෑ ම ආගමක නීත්‍යනුකූල කටයුත්තක් සඳහා යුද්ධ හමුදාවේ සහය ලබා දෙන බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
“ඕනෑ ම ආගමික කටයුත්තක් වෙනුවෙන්, බෞද්ධ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන් මොකක් හරි ආගමික කටයුත්තකට අපෙන් උදව් ඉල්ලුවොත් නීත්‍යනුකූලව අපි ඒ හැම දෙනාට ම උදව් කරනවා.”
බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීමට හෝ ජනතාව අතර අසමගිය ඇති කිරීමට තුඩු දෙනු ලබන කිසිවකට යුද්ධ හමුදාව සම්බන්ධ නොවන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් වර්ණ ගමගේ වැඩිදුරටත් සඳහන් කළේ ය.
