සීපා ගිවිසුම පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන පුද්ගලයන්ගෙන් සැදුම්ලත් ඒකබද්ධ අධ්‍යයන කණ්ඩායමක් 2003 අපේ‍්‍රල් මස පිහිටුවන ලදී. ඒකාබද්ධ අධ්‍යයන කණ්ඩායමේ වාර්තාව එම වර්ෂයේ ඔක්තෝම්බර් මස නිකුත් විය. භාණ්ඩ සහ සේවා වෙළඳපල ලිබරල්කරණය මෙන්ම ආයෝජනයන් සඳහාද නිර්දේශ මෙම වාර්තාවේ සපයා තිබුණි.

සේවා වෙළඳාම යටතේ රටක ඉතා සංවේදී සේවාවන් එම වාර්තාවට ඇතුළත් කර තිබිණි. එලෙස ලිබරල්කරණයට ලක් කරන්නට යෝජනා කෙරෙන ඇතැම් සේවාවන් මිනිස් අයිතිවාසිකම් සමඟ එකට වෙළී පවතින සේවාවන් වේ. එම වාර්තාව තුළ සේවා යටතේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, සංචාරක ව්‍යාපාරය, භාණ්ඩ සහ මගීන් ප්‍රවාහන සේවාවන්, අධ්‍යාපනය, සෞඛ්‍යය, මහාමාර්ග, දුම්රිය මාර්ග, බලශක්ති ක්ෂේත්‍රය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, බැංකු සහ මුල්‍ය සේවා ද මෙම ගිවිසුම මඟින් ලිබරල්කරණයට ලක්කළ යුතු බව යෝජනා කර තුබුණි.

එමෙන්ම දෙරට අතර නිදහස් පුද්ගල සංචරණයද දිරි ගැන්විය යුතු බව ඒකාබද්ධ අධ්‍යයන කණ්ඩායම් වාර්තාවේ සඳහන් කර ඇත. එදා සිට අද දක්වා මෙම ගිවිසුම සම්බන්ධ කාර්යයන් තවමත් සිදුවෙමින් පවතියි. ඒ සෑම කල්හිම දකින්නට ලැබුනු පොදු ලක්ෂණයක් වූයේ මෙම ගිවිසුම් පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ බලය සහ අයිතිය ඉතා සුලු පිරිසක් සිය අතේ තබා ගෙන සිටීමයි. මේ අතරින් ප්‍රධාන භූමිකාව ඉටු කරන ආර්ථික විශේෂඥයෝ ආණ්ඩු මාරු වුනත් මාරු නොවුනහ.

ඒ ඒ කලට සරිලන වේගයකින් ඔවුහු තම කාර්යය නොකඩවා ඉදිරියට ගෙන ගියෝය. 2008 වසරේ සාක් සමුළුවේ 15 වන සැසිවාරය කොළඹදී පැවැත්වෙන අතරතුර දෙරටේ නායකයින් විසින් සීපා ගිවිසුමේ රාමු ගිවිසුම අත්සන් කරන්නට සියලු කටයුතු සූදානම් කර තිබුණි. දේශීය ව්‍යාපාරිකයින්ගේ, ආණ්ඩු පක්ෂයේ ඇතැම් දේශපාලන කොටස්වල සහ ජාතික සංවිධාන ක්‍රියාකාරීන්ගේ විරෝධතාවයට අවසන් මොහෙතේ ඇහුම්කන් දුන් එවක ජනාධිපතිතුමා එම ගිවිසුම අත්සන් කිරීමෙන් වැලකී සිටියේය.

ඉන් පසුව සීපා ගිවිසුම සඳහා වූ ගමන ටික කලකට ඉතා දුබල විය. නමුත් මේ ගිවිසුම රටට සෞභාග්‍යය උදාකරලන එකම මඟ ලෙස පවසන ආර්ථික විද්‍යාඥයන් පිරිස මේ ගිවිසුම යළි කරළියට ගෙන ඒමට වෑයම් කරමින් සිටියහ.

වත්මන් ආණ්ඩුව පත්වීමත් සමඟ සීපා ගිවිසුම වෙත යන ගමන ඉතා වේගවත් විය. ඊට සමාන්තරව විරෝධතාවයද වේගවත් විය. සීපා ගිවිසුමේ නම එට්කා ලෙස වෙනස් කෙරුණි. ගරු අග්‍රාමාත්‍ය තුමා වරෙක මෙම ගිවිසුමට කවුරුන් විරුද්ධ වුවත් තමන් එය අත්සන් කරන බව පැවසීය. ගිවිසුම අත්සන් කරන දින වකවානු ද වරින් වර පැවසීය.

නමුත් රටේ මේ පිළිබඳව පැවතුන බලවත් විරෝධතාවය, රටේ දේශපාලන තත්වය සහ ගිවිසුම සකස් කර නිමා කරන්නට ගතවන කාලය යන කාරණා මත පදනම්ව ඒ සෑම අවස්ථාවකම මාස හයෙන් හය එම නියමිත දිනය කල් දැමුණි. මේ වන විට පවතින තත්වය අනුව 2017 වසර අවසන් වන්නට ප්‍රථම එට්කා ගිවිසුම අත්සන් කරන්නට නියමිතය.

කෙසේ නමුත් 2003 සීපා ගිවිසුමේ ඒකාබද්ධ අධ්‍යයන කණ්ඩායම් වාර්තාවේ අඩංගු ඇතැම් අංශයන්ට අදාළ කොටස් වෙන වෙනම ගිවිසුම් කිහිපයක් හරහා ක්‍රියාත්මක කරවීමට උත්සාහයක් පවතින බව පෙනෙන්නට තිබේ. 2017 අපේ‍්‍රල් මස ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය තුළදී දෙරට අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම මේ සඳහා හොඳ නිදර්ශනයකි. තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් ලෙස, එට්කා ගිවිසුම හරහා විවෘත කරන්නට උත්සාහ ගත් එක් අංශයක් වන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට එම විවෘත කිරීම නිසා ඇති වන බලපෑම අපි රට හමුවේ පැහැදිලි කළෙමු.

ඉන් පසුව මෙම ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ සමස්ථ ආර්ථිකයට සහ සමාජයට ඇතිවන බලපෑම පිළිබඳව අධ්‍යයනයක අපි නිරත වුයෙමු. අප සතුව කිසියම් සමාජ ආර්ථික දර්ශනයක් තිබිය යුතු නමුත් ජාතියක් ලෙස අප සතුව එවැනි එකඟතාවයක් නැත. එනිසා වෙළඳ ගිවිසුම් වැනි ගෝලීය ලිබරල්කරණයේ මෙවලමක් විග්‍රහ කළ යුත්තේ කුමන පදනමක්, දර්ශනයක් මත පිහිටාද යන්න අපට අභියෝගයක් විය.

අප විසින් ඒ අභියෝගය මඟ හැර ගිය බව පිළිගත යුතුය. අප එවැනි දර්ශනයක් මත පිහිටා කළ විග්‍රහයක් නොවේ මේ කෘතියේ අන්තර්ගත වන්නේ. කරුණු කාරණා ගෙනහැර දක්වමින් කරන ලද කිසියම් නිරීක්ෂණයක් සහ විශ්ලේෂණයක් ලෙස මෙම කෘතිය හැඳින්වීම වඩා නිවැරදි යයි සිතමු.

එහිදී බොහෝ විෂයන් අපට යම්තාක් දුරට හදාරන්නට සිදු විය. ඒ අභියෝගය බාරගත් තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සභාපති කපිල පෙරේරා සහ ලේකම් ලසන්ත වික්‍රමසිංහ අතින් මේ කෘතිය නිමැවුනි. ඒ වෑයම ජනගත කරමින් අද දිනයේ අත්‍යවශ්‍ය වන සංවාදයකට දායක වීම මෙම කෘතිය පළ කිරීමේ එකම අරමුණයි.

– තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය – 2017 ජූලි