පුන් පොහෝ දිනය යනු බෞද්ධ ජනතාවට වැදගත් ආගමික දිනයකි. එකී දිනයන්හි ඔවුහු විහාරස්ථානවලට ගොස් තම ආගමික වතාවත්හි යෙදෙති. එහෙත් කිසියම් පිරිසක් බෞද්ධයන්ට තම විහාරස්ථානවලට පිවිසෙන්නට බාධා පැමිණවීම අගතිගාමී ක්‍රියාවකි. එසේ සිදු කරන්නේ නම් ඔවුන් අන්තවාදීන් විය යුතුය. එසේ නැතහොත් කිසියම් මානසික ආබාධවලින් පෙළෙන පිරිස් විය යුතුය. අප මෙසේ ප්‍රවේශ වූයේ මේ ආකාරයේ බාධා පමුණුවන පිරිස් ගැවසෙන අප රටේ සුවිශේෂී විහාරස්ථානයක් පිළිබඳව සඳහන් කිරීමටය. ඒ, යාපනයේ කන්කසන්තුරේ ප්‍රදේශයේ පිහිටි තිස්ස විහාරයයි. මෙය වර්තමානයේ තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේ.
කෙසේ වුවද සෑම පුන් පොහෝ දිනයකම බෞද්ධ ජනයා විහාරස්ථානයට පැමිණීමේදී පෙර කී අන්තවාදී පිරිස් ඔවුනට බාධා කරති. විවිධ ආකාරයේ විරෝධතා දක්වති. සත්‍ය වශයෙන්ම මේ සඳහා දේශපාලනමය වශයෙන් මැදිහත්වී කටයුතු කරනුයේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රිවරයාය. පසුගිය උඳුවප් පුන් පොහොය දිනයේදීත් විහාරස්ථානයට ප්‍රවේශ වන බෞද්ධ පිරිස් වෙත ඔවුන් පැවසුවේ” මේක අනවසර ඉදිකිරීමක්. දෙමළ ජනතාවගේ ඉඩම් ආක්‍රමණය කරලා තමයි හදලා තියෙන්නේ. මේක ඉවත් කළ යුතුයි යනුවෙනි. මේ විරෝධතා සම්බන්ධව අපි තිස්ස විහාරාධිපති ගිංතොට නන්දාරාම හිමියන්ගෙන් විමසුවෙමු.
“ඇත්තටම මේ වැඩවලට සාමාන්‍ය දෙමළ ජනතාව සම්බන්ධ නැහැ. ඔවුන් ඉතා යහපත්. මේක අවුස්සන්නේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රිවරයා. මොකද ඔහුගෙ ඡන්ද පදනම දැන් අඩු වෙලා. මේ විරෝධතා දක්වන අයත් පිටින් ගේන අය. ඇත්තටම ගමේ දෙමළ මිනිස්සුවත් ඔවුන්ව ගනන් ගන්නේ නැහැ.
විහාරයට දානය පූජා කරන දෙමළ ජනතාව ඉන්නවා. සමහර අය බෝධි පූජාවලටත් සහභාගි වෙනවා. අපිත් එම ජනතාවට උපකාර කරනවා. වෛද්‍ය සායන පවත්වනවා. දරුවන්ට පාසල් උපකරණ ලබා දෙනවා. ගැබිනි කාන්තාවන්ට අවශ්‍ය දේවල් සපයනවා. ඉතින් ගමේ දෙමළ ජනතාව සහ තිස්ස විහාරස්ථානය අතර කිසිම ගැටලුවක් නැහැ. අනික අධිකරණ නියෝගයක් පවා තියෙනවා මෙම බාධා කිරීම්වලට එරෙහිව. කොහොම වුණත් සාමාන්‍ය දෙමළ ජනතාවට ප්‍රශ්නයක් නැහැ. ඒ අය සම්පූර්ණ සහයෝගයෙන් අපි සමඟ කටයුතු කරනවා. අනෙක මේ තිස්ස විහාරය කියන්නේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේව සංඝමිත්තා තෙරණින් වහන්සේ අනුරාධපුරය දක්වා වැඩම කරවීමේදී වඩා හිඳුවන ලද පූජනීය ස්ථානයක්.
එමෙන්ම අන්තවාදී පිරිස් මෙන්ම එයට උල්පන්දම් දෙන දකුණේ සමහරුන් පවසන ආකාරයට “කන්කසන්තුරේ තිස්ස විහාරය “කොන්ක්‍රීට් උමතුවක” ප්‍රතිඵලයක් නොවේ. මහා වංශය බෝධි වංශය වැනි ඉතා පැහැදිලි ඓතිහාසික මූලාශ්‍ර මඟින් සනාථ වන්නකි.
බෝධිවංශය දක්වා ඇති ආකාරයට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවාගෙන පැමිණි සංඝමිත්තා තෙරණින් වහන්සේ සහ සොළොස් කුල පිරිවර තුන් දිනක් දඹකොළ පටුනේ ගත කළ අතර පසුව අනුරාධපුරයට ගමන් කළ අතර දඹකොළ පටුනට නැඟෙනහිර දෙසින් වූ ස්ථානයක කඳවුරු ලා පෙරවරු දානය වළ¼දා ඇත. එසේම දඹකොළ පටුනේ එක් විහාරයක්ද නැඟෙනහිර දෙසින් තිස්ස විහාරය හා ප්‍රාචීන විහාරය ලෙස විහාරස්ථාන තුනක් ඉදිකර ඇති බව බෝධිවංශයේ වැඩිදුරටත් සඳහන් වේ.
එහෙත් සිංහල රජ දවසෙන් පසුව උතුරේ පෘතුගීසි, ලන්දේසි මෙන්ම ඉංගී්‍රසි ආක්‍රමණ මෙන්ම ආධිපත්‍යය නිසා සිංහලයන්ට අපල කාලයක් උදා වූ බව පැවැසීම අතිශයෝක්තියක් නොවේ. ඔවුහු උතුරේ තම නිජබිම් අතහැර උතුරු මැද පළාතට උඩරටට මෙන්ම දකුණටද සංක්‍රමණය වූහ. මේ සමඟ උතුරේ බෞද්ධ විහාරස්ථානයන්ගේ නඩත්තුව සේම පැවැත්ම සම්බන්ධවද බරපතළ තත්ත්වයක් ඇති විය. එසේ වුවද එවකට උතුරේ සිටින බෞද්ධයෝ තම ශක්ති ප්‍රමාණයෙන් විහාරස්ථාන ආරක්‍ෂා කළහ. තත්ත්වය මෙසේ තිබියදී ඉංගී්‍රසීන්ගේ අනුග්‍රහයෙන් මෙරටට ආ දෙමළ ජනයා උතුරේ පදිංචි වූ අතර, එතෙක් පැවැති සිංහල ග්‍රාම නාම, නගර නාම දෙමළ උෟරුවට හරවාගන්නා ලදී. ඒ අනුව වර්තමානයේ තිස්ස විහාරය කන්කසන්තුරේ තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේ. පසුව තිස්ස විහාරය නැවත සංවර්ධනයට භාජන වන්නේ හතළිහ දශකයේය. එයට ප්‍රමුඛත්වය ගනු ලැබුවේ, කළුතර උතුරේ ශීලාධාර හිමියන් සහ කළුතර පඤ්ඤානන්ද හිමියන් යන යතිවරුන්ය. උන්වහන්සේලා තිස්ස විහාරය යළි ගොඩනැංවීමේ කටයුතු ආරම්භ කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස 1954 වර්ෂයේ වෙසක් පුන් පොහොය දින උත්සවයක් පවා පවත්වා ඇත. එකල විශේෂ සිදුවීමක්ද සිදු විය.
එනම් තිස්ස විහාරයට සමීප ඉඩමක සින්නක්කර අයිතිය පවරමින් ඒබ්‍රහම් පෙරේරා නම් සැදැහැවතෙක් විසින් විහාරස්ථානයට පූජා කිරීමය. 1940 දී ලියන ලද එම ඔප්පුවේ ඉතා පැහැදිලිව එය තිස්ස විහාරය ලෙස සඳහන්ව තිබේ. 1956 වර්ෂයේ මිනුම්දෝරු සිතියම්වලට තිස්ස විහාරය එක් වන්නේ ඒ අනුවය. මේ සිතියම්වල අක්කර 15ක වපසරියක් පුරා පැතිරුණු ඉඩකඩම් මේ තිස්ස විහාර පුදබිමට අයත්ව තිබූ ආකාරය ඒ අනුව පැහැදිලි වේ. එසේම එම මිනුම්දෝරු සිතියම්වල චෛත්‍ය සලකුණ දක්වා තිබීමෙන්ම මෙහි බෞද්ධ උරුමය තහවුරු වේ. එසේම බෝධීන් වහන්සේලා සිවු නමක් තිබී ඇත.
තත්ත්වය එසේ වුවද පනහ දශකයේ අග භාගයේ ඇති වූ ජාතිවාදී කෝලහල නිසා උතුරේ පදිංචිව සිටි සිංහලයන්ට එහි විසීම ගැටලුවක් විය. එහෙත් වැඩ සිටි ස්වාමීන් වහන්සේලා පවා වෙනත් විහාරවලට වැඩම කළහ. එහෙත් 1971 වර්ෂයේ මිනුම්දෝරු සිතියම්වල පවා තිස්ස විහාරය ස්ථාපිත බවට සලකුණු විය. කෙසේ වුවද 1983 ජාතිවාදී කලබල නිසා යාපනයේ සිටි බොහෝ සිංහලයන්ට තම ගම්බිම් අතහැර දැමීමට සිදුවිය. දෙමළ ජාතිවාදීන් තිස්ස විහාරයද කඩා බිඳ දමන ලදී. එහි ඉතිරි වූයේ ළිඳ පමණකි.
යුද්ධය අවසන් වීමෙන් පසු දෙමළ මුස්ලිම් ජනයා උතුරේ පදිංචි කළද සිංහලයන් සිටි තම ගම්බිම්වල පදිංචි කරවීමට කිසිම ආණ්ඩුවක් කටයුතු නොකළේය. එහෙත් කළුතර පඤ්ඤානන්ද හිමියන්ගේ ශිෂ්‍ය, පාතකඩ විමලඥාන හිමියෝ කන්කසන්තුරේට ගොස් තිස්ස විහාරයේ ඉතිරිව තිබූ ළිඳ පළමුව හඳුනා ගත්හ. එමඟින් භූමිය නිශ්චය කොට නැවත වර්තමාන තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය මුල් පියවර තැබූහ. එසේ වුවද විහාරයට හා විහාරය සතු ඉඩම්වලට අවශ්‍ය මිනුම් කටයුතු සිදු කිරීම ප්‍රමාද කිරීමට තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම්වරයා කටයුතු කරන බවට චෝදනා පවතී.
මෙසේ ඉතිහාසය සැකෙවින් හෝ අප දැක්වූයේ කන්කසන්තුරේ තිස්ස විහාරය දේවානම්පියතිස්ස මහ රජුන් ඉදිකළ විහාරයක් නොවන බවට දෙමළ ජාතිකයන් පමණක් නොව දකුණේ සිටින ඇතැමුන්ද කිසිදු වග විභාගයකින් තොරව ප්‍රචාරය කරන බැවිනි. ඔවුහු ඒ සඳහා “කොන්ක්‍රීට් උමතුව” යන වචනය නිර්ලජ්ජිතව භාවිත කරති. ඒ එසේ විවිධාකාර වරදාන වරප්‍රසාද වෙනුවෙන් තම ආත්මය පාවා දී හෘද සාක්‍ෂිය කුණු කරගත් දකුණේ එක්තරා මාධ්‍ය පුද්ගලයකදª පසුගිය පොහෝ දිනක උතුරේ ජාතිවාදීන් සමඟ එකතු වී තිස්ස විහාරයට විරුද්ධව එහි විරෝධතාවක නිරත වී සිටිනු අපි දුටුවෙමු. එහෙත් මේ කිසිවකුත් දකුණේ අන්‍යාගමික සිද්ධස්ථාන ඉදිකිරීමට එරෙහි වනු අප නම් අසා හෝ දැක නොමැත.
දකුණේද ඕනෑ තරම් කෝවිල්, පල්ලි, ඉදිවී ඇත. දකුණේ සිංහලයන් කිසිවකු ඒවා ඉවත් කරන්නට යැයි කියන්නේද නැත. ඔවුහු එකී ආගමික ස්ථානවල අන්‍යාගමික උත්සවවලට පවා උපකාර කරති. දකුණේ දෙමළ ජනයාගේ ආගමික උත්සවවලටද සිංහලයෝ සහභාගි වෙති. එසේ තිබියදී උතුරේ අන්තවාදීන් පමණක් මෙසේ කටයුතු කිරීමට හේතුව කුමක්ද? එසේම මෙම ගැටලුවේදී ප්‍රමුඛ වූයේ දෙමළ සන්ධාන මන්ත්‍රි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ය. ඔහු පසුගියදා කුරුන්දි විහාරයේ පමණක් නොව රාසමානික්කම් මන්ත්‍රිවරයා මෙන් මඩකළපුව දිවුලපතාන ප්‍රදේශයේද හැසිරීම ඉතා ගැටලුසහගතය.
අප දකින ආකාරයට ඔවුන් මෙසේ හැසිරෙනුයේ දෙමළ ජාතිවාදයේ ප්‍රධාන සාධකයක් ලෙස සලකන උතුර සහ නැඟෙනහිර පළාත් දෙමළ නිජබිම යන පදනම මතය. ඒ අනුව එහි සිංහලයන්ට තහනම් බව ඔවුන්ගේ මෙම හැසිරීමෙන් තවත් පැහැදිලි වේ. එහෙත් සාමාන්‍ය දෙමළ ජනයාට මෙහි ගැටලුවක් නැත. කන්කසන්තුරේ තිස්ස විහාරාධිපති පූජ්‍ය ගිංතොට නන්දාරාම හිමියන් පැවැසූ කරුණු කාරණා අනුවද මෙය ඉතා පැහැදිලිය.
මෙහිදී තවත් පැතිකඩක්ද ඇත. මේ දෙමළ ජාතිවාදී දේශපාලකයන්ට අවශ්‍ය පරිදි දැඟලීමට ඉඩ දෙන සිංහල දේශපාලන නායකයන්ද ඇත. ඒ ඔවුන් සිතනුයේ එමඟින් මහ මැතිවරණය, ජනාධිපතිවරණය වැනි තීරණාත්මක මැතිවරණවලදී දෙමළ ජනයාගේ ඡන්ද තමන්ට ලැබේවි යැයි කියාය. මෙම 2024 වසර තමන්ට මැතිවරණ වසරක් බැවින් මෙම තත්ත්වය ඉදිරියේදී දැක බලා ගත හැකි වනු ඇත. එහෙත් මේ දෙපාර්ශ්වයේම පිරිස් ජාතික
සමඟිය ගැනද මහ ඉහළින් කතා කරති. එහෙත් ඔවුන් සිදුකළ යුත්තේ කවර ජාතිවාදයකට හෝ ඉඩ නොතැබීමය. මක්නිසාද සාමාන්‍ය ජනතාවට නොමැති ජාතිවාදී ප්‍රශ්න දේශපාලකයන්ට අදාළ නොවන නිසාය. එසේ කටයුතු කිරීමෙන් දේශපාලකයන් නිතර ප්‍රකාශ කරන ජාතික සමඟිය ගොඩනැඟීමට අවම වශයෙන් ප්‍රවේශ වීමට හෝ හැකි වනවා ඇත.
ප්‍රසාද් ධනුෂ්ක ගුණසිංහ
